Wednesday, November 6, 2013

"කුකීස් අපගේ සේවාවන් බෙදා හැරීමට සහාය වෙයි. අපගේ සේවාවන් භාවිතයෙන්, ඔබ අපගේ කුකීස් භාවිතයට එකඟ වේ. - Google"

මේ දවස් වල ලන්ඩන් ගොඩයාට ටිකක් අඩුවෙන් තමයි වැඩ කරන්න shift ලැබිලා තියෙන්නේ. ඒක නිසා මේ ටිකේ වැඩි දවසක් ගෙදර තමයි ඉන්නේ. පොකට් එකට නම් ටිකක් අමාරුයි තමයි. එත් ඉතින් මොනවා කරන්නද ? ඒවායින් වැඩක් නැහැ. අදත් ඉතින් අලුත් බ්ලොග් පොස්ට් එකක් ලියන්න තමයි ලැහැස්තිය. සමහරෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මේක IT පාඩමක් කියලා. එහෙනම් මුලින්ම පාඩම අහලා ඉමුකො.
අපි අද කතා කරන්න යන්නේ cookies ගැන. cookies ගැන මතක් කරද්දී නම් කටට කෙලත් උනනවා. නමුත් මම මේ කියන cookies අපි හවස තේ බොන්න ගන්න cookies නම් නෙමෙයි. අන්තර්ජාල තාක්ෂණයේ බහුලව භාවිතා වෙන, හැබැයි ගොඩක් සාමාන්‍ය අය නොදන්නා cookies වගයක් ගැන තමයි අපි අද කතා කරන්නේ.

අපි එදිනෙදා අන්තර්ජාලය පාවිච්චි කරන කට්ටිය. කොටින්ම කියනවානම් අන්තර්ජාලය දැන් අපේ ජීවිතයේ කොටසක් වෙලා හමාරයි. ගෙදරදී laptop එකෙන් ඉන්ටර්නෙට්  යනවා. එලියට ගියහම smartphone එකෙන් ඉන්ටර්නෙට් යනවා. විශේෂයෙන්ම UK වගේ පරිඝනක සාක්ෂරතාවය, සිංහලෙන් කිව්වොත් computer literacy එක ඉතා ඉහල රටවල් බොහොම පොඩි දෙයට පවා අන්තර්ජාලය පාවිච්චි කරනවා. ඉතින් අපි visit කරන හැම වෙබ් අඩවියකම, search engine query එකකම විස්තර අපේ වෙබ් බ්‍රව්සරයේ save වෙනවා. මේ විස්තර ඇතුලත් files හදුන්වන්නේ cookies කියලා. User එක වෙබ් පිටුවකට ඇතුල් වෙන හැම අවස්ථාවකම, ඒ user ගේ කලින් ක්‍රියාවලි ඇතුලත් cookie file එකක් අලුත් website එක access කරනවා. ඇයි ඒ ? කෙටියෙන් කිව්වොත් අපේ browsing experience එක පහසු කිරීම සහ එක් එක් user ට අනුව website personalize කිරීම තමයි cookies වල මූලික අරමුණ. හොදම උදාහරණයක් හැටියට ගන්න පුළුවන් Facebook එකට log වෙනකොට අපේ username එක ඔටෝම fill වෙලා තිබීම. තවත් උදාහරණයක් තමයි, Amazon එකෙන් පොතක් ගත්තහම, දෙවෙනි පාර log වෙද්දී කලින් ගත්ත පොතට සමාන පොත් recommend කිරීම.

ඉතින් මම අර මුලින් ලියපු කාරණා දෙක cookies වල ප්‍රධාන භාවිතයන් උනාට සමහරක් අන්තර්ජාල ආයතන මේ cookies පාවිච්චි කරනවා user ගේ බ්‍රව්සින් patterns හදුනාගන්න. මෙහෙම බ්‍රව්සින් patterns හදුනාගත්තහම ඒ ආයතන වලට පුළුවන් ඒ ඒ user ට ගැලපෙන වෙළද දැන්වීම suggest කරන්න. User ඒ ads ක්ලික් කරහම ඒ තොරතුරු තාක්ෂණ ආයතන වලට, ඒ වෙළද දැන්වීම් සපයන ආයතන වලින් මුදල් ගෙවනවා. මේක වර්තමානයේ බහුලව භාවිතා වෙන වෙළද ප්‍රචාරණ ක්‍රමයක්. මේවා හදුන්වන්නේ Pay-per-Click (PPC) advertisements කියලා.

ඔයගොල්ලෝ හොදට කල්පනා කලොත් මතක් වෙයි, Google එකේ අලුත් ෆෝන් එකක් හරි සපත්තු ජෝඩුවක් ගැන හරි search කරහම, ආයෙත් ඉන්ටර්නෙට් යන හැම වෙලාවකම නොයෙක් ෆෝන් ගැන සහ සපත්තු ගැන advertisements, තමුන් surf කරන website එකේ දර්ශනය වෙන එක. මේක සැහෙන කාලයක් තිස්සේ අපි නොදැනුවත්ව සිද්ධ වෙච්ච දෙයක්. නමුත් 2011 මැයි 26 වෙනිදා යුරෝපීය පාර්ලිමේන්තුවෙන් ගෙනා නීතියකට අනුව සියලුම අන්තර්ජාල ආයතන පළමුවෙන්ම user ගේ අනුමැතිය ලබාගත යුතුයි cookie file එකක් වෙබ් බ්‍රව්සරයේ ස්ථාපිත කිරීමට පෙර. මේ නීතිය හදුන්වන්නේ "The EU Cookie Law" ලෙසයි. ඉතින් ඔයගොල්ලෝ UK හරි වෙනත් යුරෝපීය රටකින් Google search engine එක access කලොත්, මම බ්ලොග් පොස්ට් එකේ මාතෘකාවට දාපු වාක්‍යය දැකගන්න පුළුවන්.  ඒක සිංහලෙන් තියෙන්නේ මම Google සිංහල version එක පාවිච්චි කරන නිසා. ඉංග්‍රීසියෙන් නම් "Cookies help us deliver our services. By using our services, you agree to our use of cookies.". මේ වාක්‍යය දර්ශනය කිරීමෙන් Google අපේ අවසරය ලබා ගන්නවා cookies ස්ථාපිත කිරීමට.

හප්පා ටයිප් කරලා හොදටම මහන්සියි. දැන් ඉතින් IT පාඩමත් ඇති. දැන් මම කියන්නම් ඉතාම මෑතකදී මට cookies මගින් අත්විදින්න ලැබුණු දෙයක් ගැන. දවස් කිහිපයකට කලින් ලන්ඩන් ගොඩයාට පොඩි කම්මැලි කමක් හිතුනා. ඉතින් කරන්න දේකුත් තිබ්බේ නැති නිසා පරණ සිංහල සින්දු ටිකක් අහන්න ගත්තා. එක පාරටම ලන්ඩන් ගොඩයාට මතක් උනා කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ "අජානීය ඉස්කුටර" සින්දුව. ඉතින් දුන්නා Google search පාරක්, "Ajaaneeya Scooter". කොහොම හරි සින්දුවත් හම්බ උනා. හොදට headset එකත් දාගෙන රස වින්දා. 


මෙන්න බලන්න ටික වෙලාවකින් මට දකින්න ලැබිච්ච ad එක.

මේක දැක්ක ගමන් ලන්ඩන් ගොඩයාට හිනා ගියා. ඔන්න කුකියට වැරදුනු තැන. කුකිය හිතුවේ මම පදින ස්කූටර් ගැන search කලා කියලා.

ඉතින් යාලුවනේ, ලන්ඩන් ගොඩයා හිතනවා ඔයාලා මේ බ්ලොග් පොස්ට් එකත් රස වින්දා කියලා. 

ලන්ඩන් ගොඩයා උපරිම උත්සාහ ගත්තා technical වචන අවමව පාවිචි කරලා බ්ලොග් පොස්ට් එක ලියන්න. 

ඉංග්‍රීසි සහ සිංහල වචන කවලමේ පාවිච්චි කිරීමෙන් රසවින්දනයට බාධාවක් උනානම් සමාවෙන්න. 

එහෙනම් අයෙත් ලගදීම හම්බවෙමු. 





Thursday, October 17, 2013

විදුලි කාර්මික මහතා හය වෙනි වේදිකාවේ තිබෙන දුම්රියට පැමිණෙන්න....

ඉතින් යාලුවනේ කොහොමද ? ලන්ඩන් ගොඩයාට නම් විශේෂයක් නැහැ. පුරුදු විදියටම ඉන්නවා. නමුත් මේ දවස් වල ටිකක් හීතලයි. මේ UK වල autumn එක. තව ටික දවසකින් winter එක එනවා. එතකොට තමයි ලංකාව මතක් වෙන්නේ. අද බ්ලොග් එක ලියන්න පදනම් උනේ ලන්ඩන් ගොඩයා FB එකේ ඉදිද්දී දකින්න ලැබිච්ච status update එකක්. FB එකේ තියෙන නානාප්‍රකාර status වලින් ඔලුව කොලොප්පන් වෙලා හිටිය ලන්ඩන් ගොඩයාට නම් මේක ටිකක් වෙනස් ආකාරයේ status update එකක් විදියට තමයි පෙනුනේ. මුලින්ම ඒක බලලා ඉන්නකෝ. 

"විදුලි කාර්මික මහතා හය වෙනි වේදිකාවේ තිබෙන දුම්රියට පැමිණෙන්න - Feeling annoyed at Maradana Railway Station"

ඉතින් යාලුවනේ, මේ status update එක දාල තිබ්බේ මගේ ඉස්කෝලේ හොදම යාලුවෙක්. Data Protection concerns නිසා එයාගේ නම publish කරන්නේ නැහැ. මේක මුලින් දැක්ක ගමන් ලන්ඩන් ගොඩයාට හිනා ගියා. වැරදියට හිතන්න එපා. ඒ මගේ යාලුවට වෙච්ච අපහසුතාවය නිසා නෙමෙයි. හුදෙක්ම status එකේ තිබ්බ විහිලු ගතිය නිසා. මේක කියවපු වෙලාවේ, මේකත් තවත් එක status update එකක් කියලා හිතුනත් පස්සේ ලන්ඩන් ගොඩයාට හිතුනා මේක ඇතුලේ ගොඩක් දේවල් කියවිලා තියෙනවා කියලා.

අපි දැන් ඉන්නේ 21 වෙනි ශතවර්ෂයේ. ලෝකයේ සන්නිවේදන තාක්ෂණය ඉතාමත් දියුණු මට්ටමක තියෙන්නේ. ලංකාවේ උනත් තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන අංශයන් ඉතාමත් දියුණු මට්ටමකයි තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් ලංකාව තමයි දකුණු ආසියාතික කලාපයේ මුලින්ම 3G සහ 4G LTE කියන අන්තර්ජාල තාක්ෂනයන් හදුන්වාදුන්නේ. නමුත් අපේ දුම්රිය ස්ථාන සේවකයන්ට තොරතුරු හුවමාරු කරගන්න walkie talkie එකක් නැහැ කියන එක කණගාටුවට කාරණයක්. හදිස්සියෙවත් ඒ වෙලාවේ විදුලි කාර්මික මහත්මයා හවසට තේ එකක් බොන්න එලියට ගිහින් හිටියනම් අර සාමාන්‍ය මිනිස්සු තාමත් කෝච්චිය ඇතුලට වෙලා බලන් ඉන්නවා ඇති.

කෙනෙකුට හිතෙන්න පුළුවන මූ මේ UK ඉදගෙන එහෙයි මෙහෙයි සසදන්න හදනවා කියලා. මගේ උත්තරේ තමයි "ඔව්", මම සසදනවා. නමුත් මම මේ උත්සාහ කරන්නේ ලංකාව UK කරන්න නෙමෙයි. සාමාන්‍ය ජනතාවට වැදගත් කියලා හිතෙන, වැඩි වියදමක් යන්නේ නැති, ලෝකේ අනිත් රටවල් ඉතා තදින් පාවිච්චි කරන විවිධ ක්‍රම ගැන දැනුවත් කරන එක.

යාලුවනේ, දැන් මම ලගදී කෝච්චියේ ගෙදර එද්දී දැක්ක දර්ශනයක් කියන්නම්. ලන්ඩන් ගොඩයා කැමතියි කොච්චි වල ඉස්සරහම පෙට්ටියේ යන්න, මොකද සෙනග අඩු නිසා. සමහර දවස් වල පොඩි නින්දකුත් දාගෙන තමයි යන්නේ ;). මම යන්න ඉන්න කෝච්චියේම ඉස්සරහ පෙට්ටිය target කරගෙන වයසක අන්ධ පුද්ගලයෙකුත් කෝච්චියට නගින්න හිටිය. එයා එක්කම දුම්රිය ස්ථානයේ සේවකයෙකුත් ලගින් හිටිය. මේ වෙලාවේ අර සේවකයා තමුන්ගේ walkie talkie එක අරගෙන වෙනත් කෙනෙකුට පණිවිඩයක් කිව්වා. ලන්ඩන් ගොඩයාට ඇහුනේ කෝච්චියේ ගමනාන්තය, කොච්චි පෙට්ටිය(carriage number) සහ වෙලාව කියනවා විතරයි. ඉතින් ඒ ගමන්ම වගේ කෝච්චියත් අවා.අර සේවකයා අන්ධ පුද්ගලයාව කෝච්චියට නැග්ගුවා. මමත් ඒ පිටිපස්සෙන්ම කෝච්චියට නැගලා අයිනක් අල්ලලා පොඩි ඇලට් එකක් දාගෙන ගියා. ඉතින් ටික වෙලාවකින් කෝච්චියේ ඇතුලේ තියෙන loudspeaker එකෙන් කියනවා ඇහුනා "the next station is Barking, change here for....". ලන්ඩන් ගොඩයා බහින්නේ මේ station එකෙන්. ඉතින් මගේ bag එකත් අරගෙන බහින්න ලෑස්ති උන. ඒ එක්කම ලන්ඩන් ගොඩයා දැක්ක අර අන්ධ පුද්ගලයත් කෝච්චියේ දොර ළඟ බහින්න ඉන්නවා. ඉතින් කෝච්චිය නැවැත්තුව ගමන් අර පුද්ගලයා බැස්සා. බහින කොටම station එකේ හිටපු සේවකයෙක් "good evening sir !!!" කියලා අර මනුස්සයව භාර ගත්තා. ඒ එක්කම එයා තමුන්ගේ walkie talkie එකෙන් තව කෙනෙක්ට confirm කලා passenger ව භාර ගත්තා කියලා. මෙතැනදී තමයි ලන්ඩන් ගොඩයාට තේරුනේ කලින් station එකේ සේවකයා මේ station එකේ සේවකයාට කතා කරලා කියල තියෙන්නේ අන්ධ මගියෙක් පලවෙනි කොච්චි පෙට්ටියේ එයි. එයාව station එකෙන් එලියට ඇරලවන්න කියලා. යාලුවනේ, ඔයගොල්ලෝ හිතන්න එපා මේ මගියා VIP customer කෙනෙක් කියලා. එයා සාමාන්‍ය මගියෙක්. ලන්ඩන් ගොඩයා මේ දැක්ක ජවනිකාව මෙහේ බහුවලව දකින්න ලැබෙන දෙයක්. දුම්රිය ස්ථානයේ වැඩ කරන සේවකයෙක්ගෙන් ඇහුවොත් කියයි ඒ අපේ customer service එක කියලා. මම මේ අවස්ථාව දකින්නේ walkie talkie භාවිතය බොහොම ප්‍රාථමික මට්ටමින්, සාමාන්‍ය ජනතාවගේ සුභ සාධනය උදෙසා පාවිච්චි වෙච්ච් අවස්ථාවක් හැටියට.

ඔයගොල්ලන්ට මතක ඇති 2004 වසරේ ලංකාවට බලපාපු ඒ මහා ඛේධවාචකය, සුනාමි එක. කවුරුත් දන්න එකක් තමයි සුනාමි එක නිසා අලව්වේ සිද්ධ වෙච්ච දුම්රිය අනතුර තමයි ලෝක ඉතිහාසයේ වෙච්ච බිහිසුනුම දුම්රිය අනතුර. එකෙන් අපිට අපේ සහෝදර ජනතාව 1700 කට වඩා අහිමි උනා. මේ දවස් වල ලන්ඩන් ගොඩයා හිටියේ ලංකාවේ. A/L පන්තියේ. ඉතින් පත්තර බලද්දී දැනගත්තා දුම්රිය බලධාරීන් මේ අනතුර වෙන්න කලින් දුම්රිය ස්ථාන දෙකකින්ම කෝච්චිය නවත්තන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් අවාසනාවට ඒ දුම්රිය ඒ වෙනකොටත් අදාල දුම්රිය ස්ථාන පහු කරලා ඉවරයි. ඒ වෙලාවේ සන්නිවේදන තදබදය (communication traffic) වැඩි නිසා දුම්රිය රියදුරු මහත්මයාගේ ජංගම දුරකථනයත් වැඩ කරලා නැහැ. කොහොම හරි කෝච්චිය ඊලග දුම්රිය ස්ථානයට එන්න කලින් station එකට පණිවිඩේ ලැබිල තියෙනවා කෝච්චිය නවත්තගන්න. නමුත් කෝච්චියට ඒ දුම්රිය ස්ථානයට ලගවෙන්න වරම් තිබ්බේ නැහැ. හැමෝම දන්නවා මොකක්ද උනේ කියලා. ලන්ඩන් ගොඩයා හිතනව ඒ දුම්රිය රියදුරු මහත්මයා ලග හරි guard මහත්මයා ලග හරි walkie talkie එකක් තිබ්බ නම් අදටත් ඒ ජනතාව අපිත් එක්ක ඉන්නවා කියලා.

UK වල walkie talkie ජෝඩු දෙකක් ගන්න පුළුවන් ලංකාවේ සල්ලි වලින් රුපියල් 10,000 කට විතර. ලන්ඩන් ගොඩයා ප්‍රාර්ථනා කරනවා ලංකාවේ බළධාරීන් ඔය අලුත් ගුවන් තොටුපොළවල්, වරායවල් හදන සල්ලි වලින් ටිකක් වියදම් කරලා අර අසරණ විදුලි කාර්මික මහත්මයාට walkie talkie එකක් අරන් දෙයි කියල.

Monday, September 9, 2013

අඳුරට සාප කරනවට වඩා එක පහනක් හෝ දැල්වීම හෙවත් UK Solar Power


ඉතින් යාලුවනේ, අයෙත් ඉතින් ටික කාලෙකට පස්සේ තමයි බ්ලොග් පොස්ට් එකක් ලියන්න පුළුවන් උනේ. හැමදාම කියන එකම තමයි කියන්න තියෙන්නේ. වැඩ වැඩ වැඩ. ඉවරයක් නෑ.

පහුගිය අගෝස්තු 24, 25 සහ 26 කියන්නේ UK වල දීර්ඝ සති අන්තයක්. ඉතින් මගේ යහළුවන් කිහිප දෙනෙක්ගෙන් පොඩි ආරාධනාවක් ආව out of London වලට trip එකක් යන්න. ඉතින් ලන්ඩන් ගොඩයාත් මේ ඒකාකාරී ජීවිතෙන් හෙම්බත් වෙලා හිටපු නිසා බොහොම කැමැත්තෙන් මේ ආරාධනාව පිලිගත්තා. යන්න plan කරගත්තේ Bristol, Sidmouth, Exeter සහ Dorset කියන පැති වලට. මේ නගර හැම එකක්ම තියෙන්නේ නිරිතදිග එංගලන්තයේ ඉතාම සුන්දර වෙරළ තීරයත් එක්ක. නමුත් එක පැත්තකින් වෙරළ තිබ්බත්, අනිත් පැත්තෙන් ඉතාම ලස්සන කදු යායත් දකින්නත් පුළුවන්. බැටළුවෝ, අශ්වයෝ වගේ කෘෂිකාර්මික සත්තුත් මේ ප්‍රදේශ වල අඩුවක් නැහැ. ඉතින් ලන්ඩන් ගොඩයා මේ දවස් තුන බොහොම සතුටෙන් තමයි ගත කලේ. summer එක ඒ දවස් වෙද්දී ඉවර වෙන්න ලං වෙලා තිබ්බත් ඉර එළියේ අඩුවක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි කට්ටියට UK වල ලෝක උරුමයක් කියල හැදින්වෙන Jurassic Coast මුහුදු තීරයේ තියෙන Lulworth Cove අසල මුහුදේ නාන්නත් පුළුවන් උනා.

ඉතින් මම අද මේ බ්ලොග් පොස්ට් එක ලියන්න හිතුවේ අපේ trip ගැනවත්, UK වල සොභාව සෞන්ධර්යය ගැන කියන්නවත් නෙමෙයි. ගමන අතර මැද්දෙදි දකින්න ලැබිච්ච, අපේ රටට බොහොම වැදගත් සහ කාලීනයි කියල හිතිච්ච දෙයක් ගැන ඔයාලට කියන්න. මුලින්ම පල්ලෙහා තියෙන photo එක බලන්නකෝ. පින්තූරේ ලොකුවට පැහැදිලි නැත්තේ වාහනේ highway එකක යද්දී ගත්ත නිසා [ මේක තිබුනේ කොයි ප්‍රදේශයේද කියන එක මතක නැහැ :( ].

මොකක්ද කියල හිතාගන්න පුලුවන්ද ? මේක අක්කර ගානක් පැතිරිච්ච Solar Power Plant එකක්. මේක දැක්ක ගමන් එක පාරටම ලන්ඩන් ගොඩයාට පුදුම හිතුනා. මෙහේ ගෙවල් වල හයි කරපු solar panels ඕනෑතරම් ලන්ඩන් ගොඩයා දැකලා තිබ්බත්, මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කොහෙදිවත් දැකලා තිබ්බේ නෑ. ඔන්න, දැන් තමයි වාහනේ හිටපු කට්ටියම මේක ගැන කතාකරන්න ගත්තේ.

1.) UK වල වැඩි අව්වකුත් නැතුව මේක practical ද බන් ?

2.) මෙච්චර මෙහෙ මේවා කරනවානම් ඇයි ලංකාවේ කරන්න බැරි ?

3.) ඇයි ලංකාව බොරුවට PRIVATE diesel power plants වලින් කරන්ට් ගන්නේ මේ වගේ options තියෙද්දී ?

මේ වගේ ප්‍රශ්න ගණනාවක් කට්ටියගෙන්ම මතු වුනා වගේම හැමෝම තම තමුන්ගේ අදහස් ප්‍රකාශ කලා. ඔය මම කලින් කියපු තුන්වෙනි ප්‍රශ්නේ අහද්දී නම් ලංකාවේ දේශපාලනය ගැන එහෙම හොද හොද දේවල් කට්ටියගෙන්ම කිය වුනා. නමුත් ලන්ඩන් ගොඩයා ඒවා මෙතන කියන්න කැමති නැහැ, මොකද මේක දේශපාලනික බ්ලොග් එකක් නොවෙන නිසා සහ ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් එක හැදුවේ ගත්තේ ලංකාව ගැනවත්, අපේ ආණ්ඩුව ගැනවත් විවේචනය කරන්න නෙමයි නිසා.

අපි මුලින්ම UK සංඛ්‍යා ලේඛන ටිකක් අරන් බලමු.

2011 වෙද්දී, එක්සත් රාජධානියේ ස්ථාපිත කරපු සූර්ය බල ශක්ති ව්‍යාපෘති 230,000 පමණ වාර්තා වෙලා තියෙනවා. 2012 අවුරුද්දේ පෙබරවාරි වෙද්දී, මේ සූර්ය විදුලි බලාගාර වලින් නිෂ්පාදනය කරපු විදුලිය 750MW (2011) ඉදලා 1000MW වෙනකම් වැඩිවෙලා. ඉතින් අපි හැමෝම දන්නවනේ, UK කියන්නේ අවුරුද්ද පුරාවටම අව්ව තියෙන රටක් නෙමෙයි. මුළු රටේම සූර්යතාපනය (insolation), ඒ කියන්නේ දවසකට පෘෂ්ඨයක් (surface) මතට වැටෙන සූර්ය කිරණ ප්‍රමාණය 2.9 kWh/m²/day වලට වඩා අඩුයි. Scotland කියන ප්‍රදේශයේ තියෙන වර්ග කිලෝමීටර 1000ක් විශාල solar farm එකකට හැකිවෙලා තියෙනවා, ඒ මුළු ප්‍රදේශයටම අවශ්‍ය විදුලි ඉල්ලුම සපුරන්න. මෙතැනදී ලන්ඩන් ගොඩයාට මතක් කරලා දෙන්න ඕන එංගලන්තයේ මිනිස්සු හීතල නිසා නාන්නේ කරන්නේ උණු වතුරෙන්. ඒකට පාවිච්චි වෙන්නේ විදුලිය. සීතල කාලෙට ගෙවල් උණුසුම් කරගන්න heater වැඩ කරන්නේ විදුලියෙන්. ශ්‍රී ලාංකික පුරවැසියෙක් පාවිච්චි කරනවට වඩා 93.07%ක් විදුලිය එක්සත් රාජධානියේ පුරවැසියෙක් පාවිච්චි කරනවා. සිංහලෙන් කියනවනම්, ලංකාවේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරනවට වඩා සැහෙන විදුලියක් වැය වෙනවා මෙහෙ එදිනෙදා ගෘහස්ත කටයුතු වලට. පොඩ්ඩක් හිතන්න, නමුත් Scotland වල ජනතාවට පුළුවන් වෙලා තියෙනවා සූර්ය බල ශක්තියෙන් මේ අධික විදුලි ඉල්ලුම සපුරගන්න. ජල විදුලිය, න්‍යෂ්ටික බලය, සුළං බලය සහ කාබන් ආශ්‍රිත විකල්ප මේ පැත්තේ පාවිච්චි වෙන්නේ winter එකේදී විතරයි. UK වල මෑත භාගයේදී සූර්ය බල ශක්තිය ඉතාම ප්‍රචලිත වෙන්න හේතුව තමයි රාජ්‍ය මැදිහත් වීම. 2010 දී මෙහෙ ආණ්ඩුව හදුන්වාදුන්න Feed-in tariff ප්‍රතිපත්තිය ස්වභාවික බලශක්ති ව්‍යාපෘති ඉක්මන් කරවන්න ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. මේකෙදි වෙන්නේ පාරිබෝගිකයා ස්වභාවික බලශක්ති (solar power, wind power) පාවිච්චි කරනවානම්, තමුන් වැඩිපුර නිපදවන විදුලිය ජාතික ජාලයට එකතු කරන්න අවසර ලබා දීම. මෙමගින් පාරිබෝගිකයාට අතිරේක ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා වගේම තමුන්ගේ විදුලි බිල අඩු කර ගැනීමටද හැකියාව ලැබෙනවා.

දැන් අපි ලංකාවේ සංඛ්‍යා ලේඛන ටිකක් බලමු.

ශ්‍රී ලංකාව සමකයට ආසන්න රටක්. ඒ කියන්නේ අවුරුද්ද පුරාවටම එකාකාරී ඉර එළියක් ලැබෙනවා. ලංකාවේ භූමියෙන් තුනෙන් දෙකක්ම වියළි කලාප ලෙසට තමයි නම් කරලා තියෙන්නේ. මේ වියලි කලාපයට සූර්යතාපනය 4.0 – 4.5 kWh/m²/day අතර ලැබෙනවා. ඒ කියන්නේ UK වලට ලැබෙනවට වඩා දෙගුණයකට ලඟයි. නුවර එළිය වගේ තෙත් කලාප වල සූර්යතාපනය 2.0 – 3.5 kWh/m2/day අතර තමයි තියෙන්නේ. 2012 දී, 48% ක නිෂ්පාධිත විදුලිය ලබාගෙන තියෙන්නේ පෞද්ගලික බලශක්ති ආයතන වලින්. මේ ප්‍රතිශතය 5% වැඩිවීමක් 2011 (43%) වසරට සාපේක්ෂව.

අපි යන්නේ කොයිබටද ?

ලන්ඩන් ගොඩයාට පෙනිච්ච දේ තමයි සූර්ය බල ශක්තිය දියුණු කරන්න ලංකාවේ රාජ්‍ය මට්ටමෙන් තියෙන අනුග්‍රහය උපරිම මට්ටමෙන් නැහැ කියලා. ලංකා විදුලි බල මණ්ඩලය එන්න එන්නම පාඩු ලබන ආයතනයක් වෙලා තියෙන්නේ 60%කට වඩා වැඩි විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කරන්න මිල අධික ඉන්ධන පාවිච්චි කරන නිසා. මේ ගොල්ලෝ ලබන පාඩුව අනිත් පැත්තෙන් සාමාන්‍ය පාරිබෝගිකයට තමයි බලපාන්නේ. සාමාන්‍ය ලාංකිකයා මෑතකදී 127% කින් වැඩි වෙච්ච විදුලි බිලක් ගෙවන්නේ නාන්න උණු වතුර පාවිච්චි කරලා හෝ හීතලෙන් ආරක්ෂා වෙන්න heater පාවිච්චි කරලා නෙමෙයි. යන්තම් කළුවර මකාගන්න ලයිට් එකක් දාගන්න හෝ ඇදුම් ටික මැදගන්න iron එකක් පාවිච්චි කරනවා වගේ වැඩ වලට. මේක හරිද ?

මෙතන ගැටලුව තියෙන්නේ ලංකාවේ යටිතල පහසුකම් වල ආයෝජනය කිරීම කොයි තරම් දුරට ප්‍රායෝගිකද කියන එක. සුබ ලකුණක් විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බුරුතකන්ද කියන ප්‍රදේශයේ "Buruthakanda Solar Park" නමින් 1.7GWhක වාර්ෂික ධාරිතාවක් සැපයිය හැකි solar power plant එකක් ඉදිවෙමින් පවතිනවා. ඒ එක්කම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාතික විදුලි ජාල සම්බන්ධ කරන ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපෘතියේ අපේක්ෂාව තමයි රටවල් දෙක අතර වැඩිපුර නිපදවන විදුලිය විකිණීමට පහසු කිරීම. ඉන්දියාවට කෙසේ වෙතත් ලංකාවට මේ ව්‍යාපෘතියෙන් තියෙන වාසිය ගැන නම් ලන්ඩන් ගොඩයාට පොඩි කුතුහලයක් තියෙනවා, එකට හේතුව තමයි වර්තමාන නිෂ්පාදන තත්වයන් යටතේ ජාතික සැපයුමවත් පාඩු නොලබා කරන්න බැරි අස්සේ අපිට excess power export කරන්න පුලුවන්ද කියන එක lol :D.

ඉතින් යාලුවනේ, කියන්න තව දේවල් තිබ්බත් බ්ලොග් පොස්ට් එක bulky වගේ දැනිච්ච නිසා නවත්තනවා. stats ගොඩක් ගත්තේ online reports සහ websites වලින්. සමහර විස්තර subject to further research. මොනවා හරි වැරද්දක් තියෙනවනම් හරි වෙනත් අදහසක් තියෙනවනම් හරි, comments are welcome.

Friday, July 12, 2013

ලන්ඩන් පාන් vs Aussie වෙජිමයිට්


ඉතින් යාලුවනේ...අයෙමත් සැහෙන කාලෙකින් තමයි බ්ලොග් පොස්ට් එකක් ලියන්න හම්බුනේ. පහුගිය අවුරුද්ද තමයි ලන්ඩන් ගොඩගේ ස්ටඩීස් වල Final Year එක. ඒ නිසා තමයි ඉන්ටනෙට් එක පැත්තේ වැඩිය එන්න හන්බුනේ නැත්තේ. අද උදේ ලන්ඩන් ගොඩය අල්මාරියේ ලාච්චුව අරිද්දි හම්බුනා ගිය අවුරුද්දේ පාවිච්චි කරපු ෆෝන් එක. මෙහෙදී සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ contract ෆෝන්ස්. ඒ කියන්නේ අපි මාසෙකට ගානක් ෆෝන් කොම්පැනියට ගෙවනවා. එතකොට අපිට free ෆෝන් එකකුයි, ෆෝන් package එකකුයි ලැබෙනවා. අවුරුදු දෙකෙන් දෙකට contract එක මාරු කරන්න පුළුවන්. මේ විදිය නිසා අපිට පුළුවන් latest ෆෝන් මොඩල් එකක් ලොකු ගානක් එක පාර ගෙවන්නේ නැතුව අරගන්න.

ඉතින් ලන්ඩන් ගොඩය කියන්න ගියේ, අලුත් ෆෝන් contract එක ගත්ත නිසා තමයි පරණ ෆෝන් එක අල්මාරියට දාන්න උනේ. නිකමට වගේ පරණ ෆෝන් එක පරිගණකයට ගහල බැලුවා මොනවා හරි memory එකේ තියෙනවද කියලා. ම්ම්ම්ම්....මෙන්න තියෙනවා බඩු. හරියටම මේ ෆොටෝස් අරගෙන තියෙන්නේ 2012 ජුනි 20. මුලින් ෆොටෝ ටික බලලා ඉමුකෝ. ඊට පස්සේ කතාව කියන්නම්.

ලන්ඩන් වල ඉගෙන ගන්න එක ලංකාවේ සාමාන්‍ය පවුලක ළමයෙකුට කොච්චර අමාරුද කියන එක ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ලන්ඩන් ගොඩයාත් මේ බෝට්ටුවෙම එක්කෙනක්. පාර්ට් ටයිම් ජොබක් නැතුව මෙහෙ ගොඩදාගන්න අමාරුයි. ඉතින් මේ කියන දවස් වල ලන්ඩන් ගොඩයා වැඩ කරා සෙන්ට්‍රල් ලන්ඩන් වල සුපර් මාකට් එකක. හරියටම කියනවනම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ලග. එකේ උප තැපැල් කන්තෝරුවකුත් තිබුන. ඒ දවස් වල මම වැඩ පටන් ගන්නවා උදේ 6.30ට. ඒ වෙලාවේ ඉදන් දවල් 12 විතර වෙනකන් වැඩ කරන්නේ සුපර් මාකට් එකේ. එයින් පස්සේ පොස්ට් ඔෆිස් කවුන්ටර් එකේ වැඩ කරනවා හවස 5.30 වෙනකන්.

මම කලින් කිව්වා වගේ. මේ ප්‍රදේශය විදේශ සංචාරකයින්ගෙන් පිරිච්ච පැත්තක්. ඕස්ට්‍රේලියානු, ඇමෙරිකානු සහ බටහිර යුරෝපීය (French, Italian, Spanish....) ජාතීන් බහුලව දකින්න පුළුවන්. මේ හරියේ තියෙනවා ප්‍රසිද්ධ බජට් හෝටලයක්. මේක ඔස්ට්‍රලියාවේ තරුණ සංචාරකයින් අතර හුගක් ප්‍රසිද්ධයි. මේකේ නවතින අයගේ එදිනෙදා දේවල් ගන්න ගොඩක් වෙලවට එන්නේ අපේ සුපර් මාකට් එකට. මේක සුපර් මාකට් එකක් උනාට මම කියන්නේ "කඩේ" කියලා.

මේ සිද්ධිය උනේ කලින් කියපු දවසේ උදේ 8ට විතර. තරුණ ගැහැණු ළමයෙක් කඩේට අවා. ඉතින් මමයි, මාත් එක්ක වැඩ කර කර හිටපු අනිත් එක්කෙනයි මෙයත් එක්ක සුහදව කතා බහ කළා. මෙයත් Australian. නම ක්ලෙයාර්. තනියම Europe වල trip එකක් යනවා. ඉතින් කලින් දවසේ තමයි ලන්ඩන් වලට ඇවිත් තියෙන්නේ. අපේ කඩේට ඇවිත් තියෙන්නේ උදේ කෑමට මොනවා හරි ගන්න. ඉතින් මෙයා කඩේ වටේ යයා බලනවා මොනවද තියෙන්නේ කියලා. එක පාරටම අපිට ඇහුනා ක්ලෙයාර් සතුටින් කෑ ගහනවා. බලද්දී ක්ලෙයාර්ට වෙජිමයිට් බෝතලයක් හම්බවෙලා. යාලුවනේ මෙතැනදී කියන්න ඕනෑ වෙජිමයිට් ඔස්ට්‍රලියාවේ ඉතාම ප්‍රසිද්ධයි. ක්ලෙයාර්ට එක පාරටම වෙජිමයිට් බඩගින්නක් ඇවිල්ලා. මෙයා කරපු දේ තමයි, කඩෙන් පානුයි, චීසුයි, බටරුයි ඔක්කොම ගත්තා වෙජිමයිට් එක්ක. එයා කිව්වා අපි මෙතන ඉදන්ම හදලා කමු කියලා. ඒ වෙලාවේ කඩෙත් එච්චර busy නැහැ. මටත් මේක බොහොම අමුතු අත්දැකීමක්. ඉතින් මමයි මගේ යාළුවයි අවශ්‍යය දේවල් (kitchen towels and a plastic knife) සැපයුවා. අපි තුන්දෙනා එකතුවෙලා කවුන්ටර් එක උඩ තියාගෙනම පාන් හැදුවා. පාන් හදලා ඉවර වෙනකොටම වගේ නිතරම කඩේට එන බ්‍රිටිෂ් ගැහැණු ළමයෙකුත් අවා. ඒ වෙද්දී අපි කවුරුවත් උදේට මොනවත් කාල නෙමෙයි හිටියේ. ඉතින් අපි හැමෝම අපේ Aussie breakfast එක enjoy කලා. ෆොටෝස් ටිකකුත් ගත්තා.

ඔන්න ඕකයි මේ පාර බ්ලොග් පොස්ට් එක. ජීවිතේට ගන්න ලොකු දෙයක් නම් නැහැ. නමුත් මේක සමස්තයක් වශයෙන් බටහිර රටවල් වල මිනිස්සුන්ගේ තියෙන සරල බව, විවුර්ථ බව බොහොම පැහැදිලිව පිළිබිබු වෙච්ච අවස්ථාවක්.

Sunday, July 22, 2012

London2012 ඔලිම්පික්

2011 සහ 2012 අවුරුදු කියන්නේ එංගලන්තයට ඉතාම වැදගත් සහ කාර්ය්‍යය බහුල අවුරුදු දෙකක් කියලා ලන්ඩන් ගොඩයා කලින් බ්ලොග් පොස්ට් එකකත් කිව්වා. මේකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි 2011 දී පැවැත්වුණු එංගලන්තයේ විලියම් කුමාරයාගේ සහ කේට් මිඩ්ල්ටන්ගේ රාජකීය මංගල්‍යය (Royal Wedding). අනික තමයි පසුගිය ජුනි මාසේ පැවැත්වුන එංගලන්තයේ මහ රැජිනගේ දියමන්ති ජුබිලි උත්සවය (Queen 's Diamond Jubilee). මේ උත්සව දෙකේ උණුසුම ඉවර වෙන්නත් කලින් දැන් 2012 ඔලිම්පික් උත්සවයත් ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා. සමහරෙකුට හිතෙන්න පුළුවන් මුළු ලෝකයම ආර්ථික පසුබෑමකට (recession) ඉන්න මේ වගේ වෙලාවක මෙවැනි උත්සව රටකට අනවශ්‍ය වියදමක් කියලා. නමුත් මේ වගේ උත්සව රටේ ආර්ථිකයට ඍජුව සහ වක්‍රව යහපත් ලෙස බලපාන බව තමයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් royal wedding එකට සහ diamond jubilee එකට ලක්ෂ සන්ක්යාත ජනකායක් රට තුලට ආව බව අපි කවුරුත් දන්නවා. මේ මගින් මෙරට හෝටල්, සුපිරි වෙළදසැල්, සිහිවටන සාප්පු සහ රෙදි පිළි ව්‍යාපාර අංශ වලට ලොකු දියුණුවක් ලැබුණා. තවත් උදාහරණයක් ගත්තොත් විලියම් කුමාරයාගේ බිරිද, කේට් මිඩ්ල්ටන්ගේ ඇදුම් මෝස්‌තර මුළු ලෝකයේම කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය වුනා. මේක විලාසිත අංශයට ඍජු ලෙස බලපෑවා. මේ වගේ දේවල් වලින් රටේ ජනතාවට ලොකු ප්‍රබෝධයක් වගේම ආර්ථික වශයෙනුත් විශාල දියුණුවක් ලැබෙන බවට ලන්ඩන් ගොඩයාත් විශ්වාස කරනවා. ඉතින් තව දවස් පහකින් ආරම්භ වෙන London2012 ඔලිම්පික් උත්සවයත් රටේ රැකියා මදිපාඩුවට සහ ආර්ථික දියුණුවට දෙවියෝ දුන්න තෑග්ගක් හැටියට හදුන්වන්න පුළුවන්. වැරදි විදියට හිතන්න එපා. ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් පොස්ට් එක ලියන්න තිතුවේ ආර්ථික විශ්ලේෂණයක්හෙම කරන්න නෙමෙයි. අද, ඒ කියන්නේ 2012 ජුලි 22 තමයි දවස් 64ක් තිස්සේ එක්සත් රාජධානිය වගේ ගමන් කරපු ඔලිම්පික් ගිනිසිළුව (Olympic Torch Relay) එක ලන්ඩන් ගොඩයා ඉන්න නගරය වෙන බාකින් වලට අවේ. උදේ 9.49 ට තමයි ගිනිසිළුව බාකින් වල ප්‍රධාන පිට්ටනියක් වෙන Barking Park එකට එන්න ඇස්තමේන්තු කරලා තිබ්බේ. ඉතින් ලන්ඩන් ගොඩයත් කලින් ඉදල අරන් තිබ්බ London2012 කැප් එකයි, ඔලිම්පික් ලාංජනේ පාට තියෙන Wrist Band ටිකයි දාගෙන උදේ 9.15 වගේ වෙද්දී පාර්ක් එකට ගියා. තනියම නෙමෙයි ලන්ඩන් ගොඩයාගේ යාලුවෝ වෙන දුලක්ෂි අක්කයි තුසිත අයියයි එක්ක.

කියපු වෙලාවට වගේ ගිනිසිළුව ගත්ත පිරිස අවා.මුළු එංගලන්තය පුරාවටම ගිනිසිළුව ගෙනියන්න අවස්ථාව ලැබිච්ච පුද්ගලයින් 8000ක් ඉන්නවා. ඒ ගොල්ලෝ රටට කරපු සේවයට රටේ ජනතාව විසින්ම තමයි නම් යෝජනා කරලා මේ ගොල්ලන්ව තෝරාගෙන තියෙන්නේ. ඉතින් ලන්ඩන් ගොඩයාත් මේ ගිනිසිළුව ගත්ත පුද්ගලයන් එක්ක හරි හරියට පාර්ක් එක ඇතුලේ දිව්වා. නැවතී නැවතී ෆොටෝ ගන්න ලොකු වෙලාවක් හිටියේ නැහැ. නමුත් තුසිත අය්යාට පුළුවන් උණා ලන්ඩන් ගොඩයා සහ ගිනිසිළුව හොදින් පෙනෙන මට්ටමේ පින්තූරයක් ගන්න. මේ පල්ලෙහා තියෙන්නේ ඒ පින්තූරේ.
ඔය පින්තූරේ ගිනිසිළුව ගෙනියන කාන්තාව වටේ අළුපාට ඇදගෙන දුවන්නේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ නිලධාරීන්. ලන්ඩන් ගොඩයා කලින් දවසක පත්තරේ දැක්කා එංගලන්තයේ වෙනත් ප්‍රදේශයක රැලිය ගමන් කරද්දී පොඩි ළමයි දෙන්නෙක් ගිනිසිළුව අල්ලන්න ගත්ත උත්සාහයක්. ඒක බොහොම සුළු සහ සාමකාමී සිදුවීමක්, නමුත් මේ වගේ අවස්ථාවකදී ආරක්ෂාව ඉතාම වැදගත්. ඉතින් යාලුවනේ, ලන්ඩන් ගොඩයාට බොහොම සතුටුයි අද මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන. සමහර විට මේක ජීවිතයටම ඒක පාරක් ලැබෙන අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒවගේම London2012 සංවිධායකයින් ජුලි 27 වෙනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී මුළු ක්‍රීඩාංගනයම එංගලන්තයේ ගම්බද පරිසරයක් විදියට පරිවර්තනය කරන්න යනවා කියලා ලන්ඩන් ගොඩයාට පත්තරේදී කියවන්න ලැබුණා. අලුත් දෙයක්. කොහොමහරි TV එකේ නැත්තම් internet එකේ හරි බලන්න. තවත් ගොඩක් දේවල් London2012 ගැන කියන්න තියෙනවා. ඒවා වෙන බ්ලොග් පොස්ට් එකක ලියන්න තමයි බලාපොරොත්තුව.

Thursday, May 31, 2012

ඔබ මුහුදු වෙරළ අභියසදී, අපි දුම්රිය මග අභියස....

.

අයෙත් ඉතින් මාස තුනකට විතර පස්සේ තමයි බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනේ. ඉතින් ලන්ඩන් ගොඩයා හිතනවා පහුගිය දවස්වල ඔයගොල්ලෝ හොදින් ඉන්න ඇති කියලා. මේ පෝස්ට් එකට පදනම් උනේ මේ තියෙන පුවත්පත් දැන්වීම. මේ දැන්වීම තිබුනේ ඊයේ (30/05/2012) උදේ Metro පත්තරේ. මට පොඩ්ඩක් මුලින්ම මේ පත්තරේ ගැන පොඩි හැදින්වීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේක ගැන දන්නේ නැති පාඨකයන්ට. Metro කියන්නේ ලන්ඩන් වල දුම්රිය ස්ථාන වල උදේට නොමිලයේ බෙදාහරින පුවත්පතක්. මේ පත්තරේ එදිනෙදා වෙනදේවල් ගැන update වෙන්න වගේම කෝච්චියේ යද්දී තනිය මකාගන්න හොද මිත්‍රයෙක්. විශේෂයෙන්ම අපි පොලව යටින් යන කොච්චි වල යද්දී දෙපැත්තෙන්ම පේන්නේ කළු පාට බිත්ති. බලන්න කිසිම දෙයක් නැහැ. මිනිස්සුන්ගේ මුණු දිහා බලාගෙන ඉන්නත් බැහැ. ඉතින් මේ වගේ වෙලාවක ideal ම දේ තමයි මොකක් හරි කියවන එක. ඉතින් තමුන් ලග කියවන්න මොකක් හරි පොතක් හෝ පත්තරයක් නැත්නම් Metro එක නිකම් දෙය්යෝ බැලුව වගේ. ඇත්තට මට ඊයේ මේ ad එකේ පින්තූරයක් ගන්න බැරි උනා. හොඳ වෙලාවට ගෙදර ඉන්න තුෂාර සහෝදරයා ලග තවත් පත්තරයක් තිබ්බා. ඉතින් අද ලන්ඩන් ගොඩයා බ්ලොග් පෝස්ට් එක ලියන්න කලින් මේකේ ෆොටෝ එකක් ගත්තා. හොදයි, දැන් අපි ad එක දිහා බලමුකෝ. මුලින් තියෙන පින්තූරේ තියෙන අකුරු පොඩි නිසා ලන්ඩන් ගොඩයා ටිකක් zoom කරපු පින්තූරයක් ගත්තා.

ඉතින් මේ දවස් වල ලන්ඩන් නගරය හරිම කලබලයි. ඒ විශේෂ හේතු කිහිපයක් නිසා. එකක් 2012 ඕලිම්පික් උත්සවය, අනික තමයි "දියමන්ති ජුබිලිය (Diamond Jubilee)". ඒ කියන්නේ දෙවෙනි එලිසබෙත් මහ රැජිනගේ 60 වෙනි ඔටුනු පැළදවීමේ සංවත්සරය. අනිත් හේතුව තමයි පරක්කු වෙච්ච summer එක. මේවා ගැන ලන්ඩන් ගොඩයා වෙනත් බ්ලොග් පෝස්ට් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් 2012 ඔලිම්පික් උත්සවය සහ දියමන්ති ජුබිලිය ගැන. මේ දියමන්ති ජුබිලිය නිසා ඉදිරි සති අන්තය දීර්ඝ සති අන්තයක් බවට බ්‍රිතාන්‍යය ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ ජුනි 2, 3, 4 සහ 5 යන දිනයන්. මෙන්න මෙතෙන්දි තමයි ඉහත පුවත්පත් දැන්වීම ගැන අපි කතා කරන්නේ.

එංගලන්තය කියන්නේ පොදු ප්‍රවාහන මාධ්‍යය ඉතාමත් බහුල ලෙස භාවිතා කරන රටක්. විශේෂයෙන් ලන්ඩන් නුවර තුලදී දුම්රිය ගමනාගමනය ඉතාමත් විශාල ලෙස භාවිතා වෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ සතියේ දවස් වල උදේ සහ හවස, තේරෙන භාෂාවෙන් කියනවනම් peak hours වල London Underground සේවයේ දුම්රිය දෙකක් අතර තියෙන්නේ තත්පර 30 ක වගේ වෙනසක්. එහෙම සේවාවක් පවත්වාගන්නේ නැතුව ඒ වෙලාවට ඉන්න සෙනග හසුරවගන්න බැහැ. ඉතින් එක දිගට මෙහෙම සේවාවක් දෙන්න නම් දුම්රිය මාර්ග සහ දුම්රිය වලට නිසි වෙලාවට නඩත්තු කිරීමට අවශ්‍යයි. ඉතින් මෙහෙ ගොඩක් දුම්රිය සමාගම් මේ නඩත්තු කිරීම් කටයුතු සදහා යොදා ගන්නේ සති අන්ත. එකට හේතුව තමයි සතියේ දවස් වලට සාපේක්ෂව සෙනග අඩු නිසා. උඩ පින්තූරේ තියෙන නෙට්වර්ක් රේල් කියන්නේ එංගලන්තේ එක විශාල දුම්රිය යතිතල පහසුකම් නඩත්තු කරන සමාගමක්. ඉතින් මේ සමාගමත් තමුන්ගේ නඩත්තු කිරීම් කරන්නේ සති අන්ත වල. සමහර විට මේ වගේ අවස්ථා වලදී සේවාව සිමා කරන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථා වලදී සම්පුර්ණ දුම්රිය මාර්ගයම තාවකාලිකව වහන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවස්ථා වලදී ඉහත ආකාරයේ සමාගම් පෙර දැනුම් දීමක් කරනවා තමුන්ගේ මගීන්ට අවහිරයක් නොවෙන විදියට තමුන්ගේ සති අන්ත ගනම් බිමන් සැලසුම් කරගන්න. විශේෂන්මේ මේ වගේ කලබල අධික කාල වල. ඒ වගේම සමහරක් දැන්වීම් තිබෙනවා දැනට ඉවර කරපු වැඩ ප්‍රමාණය සහ කරන්න තිබෙන වැඩ ප්‍රමාණය ගැන නිසි අවබෝධයක් මගීන්ට ලබා දෙන. මේ වගේ දැනුවත් කිරීම් ඒ සමාගම් හිතන්නේ තමුන්ගේ යුතුකමක් හැටියට. එහෙම නැත්නම් මේ වගේ සල්ලි ගෙවලා පත්තර වල දැන්වීම් දාන්න අවශ්‍යය නැහැනේ.

කොහොම නමුත් මේ ad එකට ලන්ඩන් ගොඩයාට ටිකක් හිත ගියා. ඒ තමයි ඉතාම සැලසුම් සහගත ලෙස වැඩ කිරීම, නිසි ලෙස මානව සම්බන්ධතා (Public Relations - PR) පවත්වාගෙන යාම සහ මහ ජනයාගේ හිතට වදින ලෙස තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම නිසා. අනිත් එක හරි විදියට මානව සම්බන්ධතා පවත්වාගෙන යනවනම් මහජනතාව තුලත් ලොකු විශ්වාශයක් ගොඩ නැගෙනවා අදාල ආයතන හෝ ආණ්ඩු ගැන. අපිටනම් ඉතින් ලංකාවේදී ගමනක් යද්දී හදිස්සියේ පාරවල් කඩාගෙන තියෙන එකෙන් වෙන බාධාවල් එච්චර අමුත්තක් නෙමෙයි :) නමුත් ලන්ඩන් ගොඩයා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීවත් හොද marketing සහ PR සංකල්ප ශ්‍රී ලංකාවේ දුම්රිය සහ ගමනාගමන අංශ වලත් පාවිච්චි වෙයි කියලා.

Sunday, February 12, 2012

අතීතයෙන් ආපු email එක...

ඉතින් යාලුවනේ අයෙත් ලන්ඩන් ගොඩයා කාලෙකට පස්සේ. හැමදාම කියන බයිලාවම තමයි, ලියන්න ගොඩක් දේවල් හිතේ තිබ්බත් busy වෙච්ච නිසා තමයි අලුත් පොස්ට් මොනවවත් දාන්න බැරි උනේ. ඔයාල දන්නවනේ අපි කාට හරි විශේෂ email එකක් ආවහම අපි ඒවා අපේ යාළුවන්ට, හිත මිත්‍රයන්ට forward කරනවනේ. ඉතින් පසුගිය සතියේ ලන්ඩන් ගොඩයට යාළුවෙක්ගෙන් ඒ වගේ email එකක් අවා. මේකේ subject එක තමයි "නැවත හැරී බලමු" කියන එක. ඉතින් ලන්ඩන් ගොඩයට මේක ගැන පොඩි කුතුහලයක් ඇති වෙලා email එක open කලා. වසර 2000 ට පෙර සහ පසු අපේ ජීවිත ගැන අපුරු විවර්ජනයක්. ලන්ඩන් ගොඩයාගේ හිත පටස් ගලා අවුරුදු ගණනාවක් ඈතට ගියා.

ලන්ඩන් ගොඩයට මතකයි පොඩි දවස් වල ඉරිදට දහම් පාසල් ගිහිල්ලා ආපු ගමන් රුපවාහිනියේ බලපු ඒ ලස්සන ටෙලි නාට්‍යයන්, අබ යාලුවෝ, රතු රෝස, සුසීමා වගේ කතා. පොඩ්ඩක් මතක් කරලා බලන්න ඒ නාට්‍යයත් එක්ක යන "සුවෙන් සිටින්නට සු එන සු" TV ad එක (LOL :D). මෑතකදී අපිට ඉන්දියාවේ ටෙලි නාට්‍යය, සිංහලෙන් හඩ කවලා බලන්න ලැබුණා. ඊට පස්සේ සිංහල නළු නිලියෝ යොදෝල ඉන්දියාවේ විදියට ඇදල කරලා ශ්‍රී ලංකාවේ නාට්‍යය හැදුවා. ඉන්දියාවට සහ ඒ නාලිකා වලට දොස් කියනවා නෙමෙයි. මම අර කලින් කිව්වා වගේ හොඳ ටෙලි නාට්‍යය ඉතිහාසයක් අපිට තියෙද්දී, ඇයි අපි අනුන්ව කොපි කරන්නේ. අයි අපි අපිවම බාල්දු කර ගන්නේ. අද වගේ තාක්ෂනයත් මෙච්චර දියුණු මට්ටමක නැති ඒ කාලේ, ඒ තරම් හොද නිර්මාණ බිහි වුනානම්, ඇයි ඒ දේ අද කරන්න බැරි ? බරපතලම දේ තමයි මේ කාලේ ටෙලි නාට්‍යය වල ගන්න දෙයක් තිටෙනවද කියන එක. කොල්ලෝ බූට් කන ඒවා. ගැණු මිනිස්සු පවුල් අවුල් කරගන්න ඒවා බලලා අපේ අයත් ඒ විදියට හැසිරෙන්න, වැඩ කරන්න පටන් අරන්. ලන්ඩන් ගොඩයා අහලා තියෙනවා සමහර ගෑනු මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එන මිනිහට කෑම ටික හදන්නේ නැතුව, ඉන්දියානු ටෙලි නාට්‍යය බල බල ඉදලා පවුල් අවුල් වෙච්ච අවස්ථාවනුත්.

අනිත් එක ඒ දවස් වල මිනිස්සුන්ගේ අද කාලේ වගේ මහා තරගයක් තිබ්බේ නෑ. ජීවිත හරි සරලයි. පොඩි ළමයින්ට අද වගේ කොම්පියුටර්, වීඩියෝ ගේම්, ඉන්ටර්නෙට් තිබ්බේ නැ. නමුත් ළමයි සමාජයෙන්, පරිසරයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, රස වින්දා. ඒ කාලේ අපි බලපු "පිස්සු පුසා", "හා හා හරි හාවා" වගේ කාටුන් අපිට කවදාවත් අමතක වෙයිද ? ඉස්සර TV එකේ "රොබින් හූඩ්" යද්දී ලන්ඩන් ගොඩයාත් උණ බටයකින් දුන්නක් හදාගෙන ලෑස්ති වෙලා ඉන්නවා කතාවේ සටන් ජවනිකා යන අවස්ථා වල ගේ ඇතුලේ සටන් කරන්න.

පොඩි කාලේ ඉදලම ලන්ඩන් ගොඩයාට ගොඩක් ගමේ යාලුවෝ හිටිය. ඉතින් ඉස්කෝලේ නිවාඩු දවස් වලට ඒ ගොල්ලොත් එක්ක සෙල්ලම් කරන එක, විශේෂයෙන්ම පය ගණන් කඳු පල්ලම් වල බයිසිකල් පදිනවා තරම් තවත් ආස දෙයක් ලන්ඩන් ගොඩයාට තිබ්බේ නෑ. සමහර දවස් වල බයිසිකල් පදින කොට බල්ලෝ එලවනවා, පාරවල් වැරදිලා අතරමන් වෙනවා. මේ දේවල් මතක් කරද්දී හරිම ආසයි. සමහර දවස් වල ගෙදරට හොරෙන් වැව් වල, මුහුදේ නාන්න වනවා. වෙළවල් වල මඩ නාගෙන ඇවිදින්න යනවා. අද කාලේ ලමයින්න්ට මේ වගේ කාලයක් අයෙත් එයිද ? අනිත් එක වීඩියෝ ගේම් වලට වහ වැටිච්ච ළමයින් එහෙම සතුටක් බලාපොරොත්තු වෙයිද ? මේවා ගැන කල්පනා කරද්දී හිතට පුංචි වේදනාවකුත් ඇති වෙනවා.

ඔයගොල්ලෝ දන්නවනේ අපි ඉස්සර අහලා තියෙන පාසල් ප්‍රේමයන් කොච්චර සුන්දරද කියල. love letter එකක් කියවද්දී ඇතිවෙන හැගීම මොනවගේද කියන එක ඔයාලත් love letters කියවල තියෙනවනම් මම අලුතෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ. ඉතින් ඉස්කෝලේ යන කාලේ ලන්ඩන් ගොඩයත් love letters බර ගානක් ලිව්වා (හැබැයි එකක්වත් දීලා නැහැ LOL :D). යාලුවෝ ගෑනු ළමයින්ට try කරද්දී ලන්ඩන් ගොඩයා තමයි ලියුම් ලිව්වේ. එකම format එක. නම් දෙක විතරයි විතරයි වෙනස් කරන්නේ (LOL :D). ඉතින් ඔයගොල්ලෝ
දන්නවනේ වසර 2000 ට පස්සේ ලංකාවේ ජංගම දුරකථන බහුලව භාවිතා වෙන්න ගත්තා. ඉස්කෝලේ ළමයි අතරත් මේවා ටික ටික ප්‍රචලිත වෙන්න ගත්තා. ඊට පස්සේ ඉතින් පෙම් හසුන් වලට තිත. SMS එකක් යවනවා "I Love You" කියල. එයින් පස්සේ ඉතින් මුළු ආදරේම ඉතින් sms මත තමයි. sms ටික DELETE කරා කියන්නේ ආදරේ ඉවරයි. ඔන්න ඕකයි අද තත්වය.

ඉතින් කතා කරනවානම් තව ගොඩක් දේවල් තියෙනවා. මෑත ඉතිහාසයේදී අපිට අමතක වෙච්ච තැන්, අපිට වැරදිච්ච තැන් බොහොමයි. සමහර දේවල් තවම අපිට මතක් කරගන්න, නිවැරදි කරගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒ වගේම තමයි මොබයිල් ෆෝන් එක, කොම්පියුටරය සහ ප්ලේ ස්ටේෂන් එකට ළමයින්ව බාර දෙන්නේ නැතුව අපිට ඒ ලැබිච්ච ලැබිච්ච දේවල් වලින් කොටසක්වත් අපේ ඉදිරි පරම්පරාවට ලැබෙනවානම් ලන්ඩන් ගොඩයා ගොඩක්ම කැමතියි. හැබැයි මම මේ කියන දේ සම්භාවිතාවය ගැන නම් ලන්ඩන් ගොඩයාගේ හිතේ පුංචි සැකයක් තියෙනවා. එහෙනම් බ්ලොග් පොස්ට් එක ඉවර කරන්න තමයි සුදානම. ඊට කලින් මගේ ඒ මතකය අවදි කරපු email එක ඔයාල අතරත් බෙදා ගන්න කැමතියි.

.....................................................................................................................................................

•වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
•වසර 2000ට පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්‌ කන ඒවයි බැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් ඒ විදියට හිතන්න වුනා.

•වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දී අම්මත් එක්ක පොළේ ගියා.

•වසර 2000ට පසු - ක්‍රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම් එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.

•වසර 2000ට පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම් ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.

•වසර 2000ට පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා. කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත් ජීවිතයකට මානසිකත්වයක් ආවා.

•වසර 2000ට පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
•වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා.
සිංහලෙන් කතා කරොත් කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන් කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.

•වසර 2000ට පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා.

•වසර 2000ට පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා.

•වසර 2000ට පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතා පත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.

•වසර 2000ට පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.

•වසර 2000ට පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙම කාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා.
•වසර 2000ට පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා. සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.

ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි. ගමේ හිටියත් කොළඹ හිටියත් ඒ දවස් සුන්ඳරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත් වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය ඒ හණමිටි, ගොඩේ කාලය කාට කාටත් නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනාඒත් තිත්ත වුනත් මේකම නේද යාලුවනේ ඇත්ත...
කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය...
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....