Sunday, October 30, 2011

ලංකාවේ සාහිත්‍යය මාසය, කියවීම සහ අපි...

ඇත්තටම මේ පොස්ට් එක ලන්ඩන් ගොඩයාට ලියන්න හිතිලා තිබුනේ පහුගිය මාසේ, ඒ කියන්නේ සැප්තැම්බර් වල. එකට හේතුව තමයි සැප්තැම්බර් මාසය "ජාතික සතිත්‍යය මාසය" කියල නම් කරලා තිබ්බ නිසා. ලන්ඩන් ගොඩයා මේ දවස් වෙද්දී "කෝස්" එකේ "අසයින්මන්ට්" වලට සෑහෙන්න හිර වෙලා හිටියේ. අසයින්මන්ට් හිතරක් නම් මදැයි. අලි මදිවට හරක් වගේ මේ පාර "ප්‍රොජෙක්ට්" එකකුත්. ඉතින් ගිය සතියේ තමයි ආයෙත් බ්ලොග් එක පැත්තේ එන්න පොඩි නිදහසක් ලැබුනේ.

ඉතින් මේ සාහිත්‍යය මාසය නිසා ලංකාවෙත් විවිධ වැඩසටහන් තියෙනවා කියල ලන්ඩන් ගොඩයාට ආරංචි වුනා. "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" මේ වැඩසටහන් වලින් ප්‍රධානම එකක් කියල කියන්න පුළුවන්. ඉස්සර කියමනක් තියෙනවනේ "කියවීම මිනිසා සම්පුර්ණ කරයි" කියලා. මේක කියමනේ වලංගුතාවය සහ මිනිස්සුන්ගේ ඒ පිළිබද තියෙන ආකල්පය පිළිබද පොඩි සංසන්දනයක් කරන්න ලන්ඩන් ගොදයට හිතුනා. කියවීම් අකියන දේ පොඩි කලේ ඉදලම පුරුද්දක් විදියට වෙන්න ඕන දෙයක් කියලා තමයි ලන්ඩන් ගොඩයාගේ මතය. මෑත කාලයේදී අපිට ගොඩක් දකින්න ලැබුණු දෙයක් තමයි අපේ අලුත් පරම්පරාව පරිගණකය තුරුල් කරගෙන පත පොත ඉවත දන එක. ලන්ඩන් ගොඩය නම් කොම්පියුටර වැඩත් කරනවා. ඒ වගේම අදටත් ලන්ඩන් ගොඩයා කියවන ඒක නවත්තලා නැහැ. ඉස්සර කියවපු "ෂර්ලොක් හෝම්ස්" "ටොම් සෝයර්" වගේ කතා වලට ලන්ඩන් ගොඩයා අදටත් ආසයි. කොටින්ම කියනවනම් ලන්ඩන් ගොඩයාට මතකයි 8 හෝ 9 පන්ති වල ඉදිද්දී ටොම් සෝයර් පොත කියවලා එකේ තියෙන වීර වැඩ කරන්නත් හිතිච්ච අවස්ථාවල්. කියවීම මගින් මිනිස්සුන්ට ලැබෙන දැනුම සහ ආකල්පමය දියුණුව වචනයෙන් කියන්න බැහැ. කියවීමට ලංකාවේ පාසල් වලින් සහ දෙමවුපියන්ගෙනුත් ලැබෙන අනුග්‍රහය ගැනත් මෙතැනදී පොඩි ගැටළුවක් තියෙනවා.

අනිත් දේ තමයි ලංකාවේ මෑත කාලයේ ඉන්න බොහොමයක් පොත් ප්‍රකාෂකයන්ගේනුත් සැබෑ නිර්මාණ කරුවෙකුට ලැබෙන අනුග්‍රහය බොහොම අඩුයි. පාඨකයන්ට හොද දෙයක් දෙනවට වඩා ඒ ගොල්ලන්ගේ අරමුණ විකුනන්න පුළුවන් වෙළඳ භාණ්ඩ පොත් රාක්ක වල පිරවීම. මේකෙන් හොද නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් නිර්මාණ කරුවොත් අධෛර්යයමත් වෙනවා. කොටින්ම කියනවනම් හොද නිර්මාණ කාරයෙක්ට ලංකාවේ ඒක වෘතියක් වශයෙන් කරන්න බැහැ. හේතුව තමයි හොද නිර්මාණ කාරයොන්ට අනුග්‍රාහකයෝ නැහැ. එහෙම වුනහම නිර්මාණ කාරයා දස අතේ නය වෙලා තමයි තමුන් ලියපු පොත ගහ ගන්න ඕන. පොත ගැහුවට පස්සේ පොත් ටිකත් එල්ලගෙන බස් එකේ රට වටේ යන්න ඕන පොත් ටික විකුණ ගන්න. මේක කොයි තරම් ප්‍රායෝගිකද කියලා ඔයගොල්ලන්ම හිතල බලන්න.

දැන් ලන්ඩන් ගොඩයා ලියන්න හදන්නේ එංගලන්තයේ කියවීම පිළබද තියෙන තත්වේ ගැන. අළුතෙන් කියන්න දෙයක් නැහැ මේ රටවල් වලට කොම්පුටර්, වීඩියෝ ගේම්, අයි පොඩ්, අයි ෆෝන් වගේ දේවල් අලුත් දේවල් නෙමෙයි. ලන්ඩන් ගොඩයා හැමදාම වැඩට යන්නේ කෝච්චියේ. මේක පොලව යටින් යන එකක්. Underground කියලා තමයි මේ ප්‍රවාහන සේවයට කියන්නේ. ඔයගොල්ලන්ට පුදුම හිතෙයි කෝච්චියකට නැග්ගොත් කොච්චර මිනිස්සු පොත්, පත්තර කියවනවද කියලා. කොටින්ම කියනවනම් මේසන් වැඩ කරන සේවකයා, ඒ වගේම කම්කරුවා පවා පොත් කියවමින් කෝච්චියේ යන අවස්ථා බහුලව දකින්න පුළුවන්. ඒ වගේම නිර්මාණකරුවන්ගේ නිර්මාණ සදහා තියෙන අනුග්‍රහයත් ඉතාම හොදයි. උදාහරණයක් විදියට ගත්තොත් දුම්රිය ස්ථානයක් ඇතුලට ගියොත් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් නොයෙකුත් අලුතෙන් පලවෙච්ච පොත් වල දැන්වීම්. මේ විදියට දැන්වීම් දාලා විකුනන්න පුළුවන් මට්ටමේ වෙළදපොලක් පොත් වලට තියෙනවා කියන එකෙන් කියවෙන්නේ පොත් වලට ඉතාමත් හොද ඉල්ලුමක් තියෙනවා කියන ඒක.

ඉතින් පොඩ්ඩක් හිතන්න. ලංකාවේ සාහිත්‍යයට තියෙන ඉල්ලුම, පිපාසය හැම අවුරුදේම සැප්තැම්බර් වලට විතරක් සීමා කරන්නේ නැතුව මුළු ජීවිත කාලයටම පවත්වාගන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් ලස්සන ලංකාවක් ඉදිරියට අපිට දැක ගන්න ලැබෙයි.

Sunday, September 11, 2011

නීතිගරුක පොලීසිය....

මේ කතාව ටික දවසක ඉදලම ලන්ඩන් ගොඩයාට ලියන්න හොදට උවමනාව තිබ්බා. නමුත් හැමදාම වගේ කාලය තමයි පරහට හිටියේ. මේක උනේ ලන්ඩන් ගොඩයා වැඩ කරන වෙලාවක. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති ලන්ඩන් ගොඩයා අර්ධ කාලීනව වැඩ කරන්නේ පැය 24ම ක්‍රියාත්මක වෙන ඉන්ධන පිරවුම් හලක. මේකේ ලන්ඩන් ගොඩයාට රැටත් වැඩ කරන්න තියෙනවා. ඔක්කොටම කලින් කියන්න අවශ්‍යයි මේ ඉන්ධන පිරවුම් හල් වල වැඩ කෙරෙන්නේ කොහොමද කියලා. ලංකාවේ වගේ නෙමෙයි වාහනේ රියදුරාම තමයි තමන්ට අවශ්‍යය තෙල් ප්‍රමාණය වාහනයට ගහ ගන්නේ. ඊට පස්සේ පැත්තකින් තියෙන අනෙකුත් අත්‍යවශ්‍ය බඩු තියෙන කඩ කොටසට ඇවිත් තමයි ගෙවීම් කරන්නේ. සමහරු තෙල් ගහගෙන ගෙවන්නේ නැතුව යන අවස්ථාත් ඕනෑතරම්. ඉතින් රැට මේ වගේ තැන්වල ගොඩක් වෙලාවල් වලට ඉන්නේ එක සේවකයෙක් විතරයි. මේ වෙලාවට පාරිභෝගිකයන්ට කඩේ ඇතුලට එන්න දෙන්නේ නැහැ. ඉස්සරහ තියෙන පොඩි කවුළුවකින් තමයි ගනුදෙනු කරන්නේ. විශේෂයෙන්ම ලන්ඩන් ගොඩයා වැඩකරන පිරවුම් හලේ රැට ගනුදෙනු කරනවානම් මුලින් සල්ලි ගෙවල තමයි තෙල් ලබාගන්නෙ. මේකට හේතුව තමයි රාත්‍රී කාලයේදී ගොඩක් තෙල් පුරවාගෙන පැනල යන අවස්ථා තිබ්බා නිසා. මෙතැනදී පොඩි ගැටළුවක් එනවා කාඩ් පත් මගින් ගනුදෙනු කරන අයට. ඒ තමයි සේවකයාට බැහැ අදාල පාරිභෝගිකයා තෙල් ගහගෙන ඉවර වෙනකම් ගනුදෙනුව සම්පූර්ණ කරන්න. එතකොට කරන්නේ තෙල් පුරවාගෙන ඉවර වෙනකම් කාඩ් පත සේවකයා ලග තියාගන්නවා. මේක සැහෙන සාමාන්‍ය තත්වයක්. හේතුව තමයි මේ රටවල් වල ගොඩක් පුද්ගලයින් ගනුදෙනු කරන්න කාඩ් පත් පාවිච්චි කරන නිසා. සමහරු කාඩ් පත් සේවකයා ලග තියන්න අකමැතියි. හේතුව සාධාරණයි. ඒ තමයි කාඩ් පත් වංචා වෙයි කියන බය නිසා. එතකොට අපි කරන්නේ පාරිභෝගිකයාගේ රියදුරු බලපත්‍රය හෝ වෙනත් හැදුනුම්පතක් අපි ලග තියා ගන්නවා. දැන් තමයි කතාව පටන් ගන්නේ.

මේක ලන්ඩන් ගොඩයා තනිවම රැ වැඩ කරන දවසක්. වෙලාව මම හිතන්නේ පාන්දර 1ට විතර ඇති. එක වාහනයක් ඇවිත් පොම්පයක් ලගින් නැවැත්තුවා. ඒ වෙලාවේ මුළු පිරවුම් හලටම තිබ්බේ ඒ වාහනේ විතරයි. රියදුරු අසුනේ හිටපු පුද්ගලයා වාහනෙන් බැහැලා ඇවිත් කෙලින්ම පොම්පේ ඉස්සුවා. සමහර වෙලාවට ඔහු "Pay First " කියන දැන්වීම දකින්නේ නැතුව ඇති. ඉතින් ලන්ඩන් ගොඩයා ලග තියෙන මයික්‍රෆෝනය අරගෙන කිව්වා මුලින් සල්ලි ගෙවන්න කියලා. ඉතින් ඔහු පොම්පය නැවත තියලා මගේ ලගට ඇවිත් කාඩ් එක දීලා කිව්වා පවුම් 20ක තෙල් දෙන්න කියලා. එතකොට මම කලින් කතාව ඔහුට කියලා කිව්වා කාඩ් එක මෙතන තියලා පොම්පය පාවිච්චි කරන්න කියලා. ඔහු මට කිව්වා තමුන් කාඩ් එක මෙතන තියන්න කැමති නෑ කියලා. ඉතින් මම ඔහුගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලුවා. එතකොට ඔහෝ ටිකක් හිතලා බලලා බොහොම නිහතමානීව මට ඔහුගේ රාජකාරි හැදුනුම්පත පෙන්නලා මගෙන් ඇහුවා "මම පොලිස් නිලධාරියෙක්. ඔබට ගණන් ගැනීමට පුලුවන්ද ?" කියලා. ලන්ඩන් ගොඩයා එක පාරටම ඔහුට "අනිවාර්යයෙන්ම" කියලා උත්තර දුන්නේ ඔහුගේ නිහතමානී කම නිසා හිතේ ඇතිවෙච්ච පැහැදීමත් එක්ක. ඊට පස්සේ ඔහු තෙල් ගහගෙන ඉවර වෙලා සුහදව කතා කරලා ගෙවලා ඉවර වෙලා යන්න ගියා. ඔන්න ඕකයි කතාව.

සමහරෙක්ට හිතෙන්න පුළුවන් මේක බ්ලොග් එකක ලියන්න තරම් දෙයක්ද කියලා. නමුත් ලන්ඩන් ගොඩයාට මේක හිතට හුගක් දැනුනේ ඒ පොලිස් නිලධාරියාගේ තිබිච්ච නිහතමානී කම ලංකාවේ පොලිස් නිලධාරියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියලා හිතිච්ච නිසා. මේකෙන් ලන්ඩන් ගොඩයා ලංකාවේ පොලිසිය හෝ පොලිස් නිලධාරීන්ව පහත් කරන්න හදනවා කියලා හිතන්න එපා. ඒ මොකද ලන්ඩන් ගොඩයාට හොදටම විශ්වාසයි පසුගිය මාසේ ලන්ඩනයේ වෙච්ච කලබල හා සමාන දෙයක් ලංකාවේ වුනා නම් අපේ පොලිසියේ මහත්වරුන් ඉතා ඉක්මනින් ඒක සමථය කරයි කියලා. නමුත් රටක දියුණුවකට නිහතමානී කම කියන එකත් ඉතාම වැදගත් කියලා ලන්ඩන් ගොඩයා තරයේ විශ්වාස කරනවා.

Monday, July 11, 2011

"News of the World" ඔබව නැවත කියවන්නට කැමැත්තෙමි......


පසුගිය සිකුරාදා එංගලන්තයේ හැම පුවත්පතකම වගේ ලන්ඩන් ගොඩයාට දකින්න ලැබුනේ එකම අකාරයේ සිරස්තල වගයක්. ඒ තමයි අවුරුදු 168ක් පැරණි "News of the World" පුවත්පත එහි අවසාන සංස්කරණය මේ ඉරිදා, ඒ කියන්නේ 10/07/2011 වෙනිදා පලකරන්න යන වග. මේක ගොඩාක් පුද්ගලයන්ට වගේම ලන්ඩන් ගොඩයාටත්ලොකු ගැටළුවක් වුනා. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි එංගලන්තයේ වැඩියෙන්ම කියවන ඉරිදා පුවත්පතට හදිස්සියෙන්ම ප්‍රකාශනය කිරීම නවත්තන්න වෙච්ච සිද්ධිය මොකක්ද කියාලා. ඇත්තටම කියනවනම් සිකුරාදා ලන්ඩන් ගොඩයා වැඩ කරන ගමන් හිටියේ. ඉතින් හැමෝටම මේක ගැන අවධානය තිබ්බ නිසා ලන්ඩන් ගොඩයාටත් හිතුනා පත්තර ටික බලන්න මොකද වෙලා තියෙන්නේ කියාලා. ඉතින් ලන්ඩන් ගොඩයා කැමරා වලට නොපෙනෙන තැනකට ගිහින් පත්තර ටික බලන්න ගත්තා. මොකද manager දැක්කොත් අහයිඋබ වැඩ කරන ගමන් කරන්නේ පත්තර බලන එකද කියලා. ඒවා වැඩක් නෑ. කතාවට බහිමුකො. පත්තර බලන්න ගනිද්දී තමයි වැඩේ බරපතල කම තේරුනේ. "News of the World" පත්තරේ කිහිපදෙනෙක් පුද්ගලයින් 4000කට ආසන්න ගණනකගේ ජංගම දුරකථන සහ email ගිණුම් හැක් කරලා. පොලිසිය විසින් දියත් කරපු පරීක්ෂණයකදී තමයි මේ බව සොයාගෙන තියෙන්නේ.

ඉතින් මේකට මුලිකම හේතුව පුවත්පත් අතර තරගකාරිත්වය කියලා තමයි ලන්ඩන් ගොඩයාට හැගුනේ. "News of the World" පත්තරේට ඕන වෙන්න ඇති අනිත් පත්තර වල පල කරනවට වඩා වැඩි දෙයක් පාඨකයන්ට දෙන්න. එක නිසා වෙන්න ඇති පුද්ගලිකත්වයේ සීමාව ඉක්මවා යන විදියේ දේවල් වලට පෙළබෙන්න ඇත්තේ. මේක තාක්‍ෂණය යුතු ලෙස භාවිතා කිරීමේ එක අවස්ථාවක් හැටියටත් හදුන්වන්න පුළුවන්. මෙතෙන්දි ලන්ඩන් ගොඩයා කිසිම පැත්තක් ගන්නේ නෑ. ඒ තමයි මේ පත්තරෙන් කරපු විමර්ශන වලින් සමාජයට අයපතක් වෙච්ච ගොඩාක් දෙවල්නුත් පාලනය වෙන්න ඇති.

මේ පත්තරේ නවත්තන ආරංචියත් එක්ක ලන්ඩන් ගොඩගේ හිතට හීන් දුකකුත් ඇති වුනා. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි, මේ පත්තරේ අවුරුදු 168ක් තිස්සේ එංගලන්තයේ වැඩියෙන්ම කියවන ඉරිදා පුවත්පත වෙන මට්ටමට ගේන්න කී දෙනෙක් වෙහෙස මහන්සි වෙන්න ඇත්ද ? කොහොම නමුත් ඊයේ "News of the World" අන්තිම සංස්කරණය ප්‍රකාශනයට පත් වුනා. ලන්ඩන් ගොඩයාත් බොහොම අමාරුවෙන් එක කොපියක් හොයාගත්තා. එකෙන් පොඩ්ඩක් හරි හිතේ තියෙන කණගාටුව අඩු වුනා. කොහොම නමුත් හරි හෝ වැරදි, වෙච්ච දේ සිද්ධ වෙලා ඉවරයි. නමුත් ලන්ඩන් ගොඩයා විශ්වාස කරනවා ආයෙත් මේ පුවත්පත සමාජයට එනවනම් ඒකට කැමති ගොඩාක් පාඨකයන් එංගලන්තයේ ඉදියි කියලා. ඉතින් "News of the World", THANK YOU & GOODBYE !!!

Friday, February 11, 2011

කිංස්බරි පන්සලේ පිංකම....

මේ පෝස්ට් එක ලන්ඩන් ගොඩයා ලියන්නේ අන්තිමට ලියපු පෝස්ට් එකෙන් මාසෙකුත් දවස් ගණනකුත් පහුවෙලා. හේතුව මේකයි. හදිස්සියේම ලන්ඩන් ගොඩයාගේ අලුත් අධ්‍යාපන වාරය පටන් ගත්තා. ඉතින් ලන්ඩන් ගොඩයාට කොච්චර උවමනාව තිබ්බත් බ්ලොග් එක පැත්තෙවත් එන්න වෙලාවක් හදාගන්න අපහසු වුනා අනිත් වැඩත් එක්ක. හදිස්සියෙන්ම ලන්ඩන් ගොඩයාට මේ පෝස්ට් එක ලියන්න හිතුනේ අද දවසේ ලන්ඩන් ගොඩයට සහභාගී වෙන්න ලැබුනා ඉතාමත් ශ්‍රද්ධාවන්ත වැඩකට. ඒ තමයි අපේ අර්ජුන අයියාගේ උපන් දිනය වෙනුවෙන් "අර්ජුන-දර්ශන" මිත්‍රයන් දෙන්නා සුදානම් කරලා තිබුනා සාංගික දානයක් කිංස්බරි පන්සලේ. ලන්ඩන් ගොඩයාට අහන්න ලැබිච්ච විදියට ලන්ඩන් නුවර ප්‍රධානම බෞද්ධ විහාරය විදියට හදුන්වන්න පුළුවන් වෙන්නේ කිංස්බරි විහාරය. ඇත්තටම අපි අගය කරන්න අවශ්‍යයි මේ වගේ රටවල් වල යම් මට්ටමකින් හරි බෞද්ධයින්ට තමුන්ගේ හිත් සැහැල්ලු කරගන්න මේ වගේ තැන් තියෙන එක ගැන.

අපි කලින් සුදානම් කරගත්ත දවල් දානය සහ අනිත් අතුරු පස අරගෙන පන්සලට යද්දී ටිකක් පරක්කු වෙලා. උදේ 11.30 වෙද්දී බුද්ධ පූජාව පිළියෙළ කරන්න අවශ්‍ය නිසා අපි ටිකක් ඉක්මන් කලා. පන්සලේදී පිළියෙළ කරපු ෆ්රූට් සැලඩ් එක හදන්නත් ලන්ඩන් ගොඩයා උදවු කලා. පන්සලේ නායක හාමුදුරුවෝ කරපු දේශනාවේදී තමයි ලන්ඩන් ගොඩයාට කල්පනාවට ආවේ ලංකාවෙදිනම් මේ වගේ දේවල් වලදී ගොඩක් අත්දැකීම් තියෙන වැඩිහිටි පිරිස් සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ වගේ රටකදී තමුන්ගේ වියහියදම් සමබර කරගෙන ඉන්න ගමන් මේ වගේ දේකටත් හිත යොමු කරන්න පුළුවන් වෙච්ච එක ගැනත් හිතද්දී සිංහල බෞද්ධ තරුණයෙක් විදියට ලන්ඩන් ගොඩයාට හීන් ආඩම්බරයක් ඇති වුනා. ඇත්තටම "අර්ජුන-දර්ශන" දෙපලට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒකාකාරී ජීවන රටාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ වගේ දේකට සහභාගී වෙන්න ලන්ඩන් ගොඩයාට අවස්ථාවක් ලබා දීම ගැන. මේ කාර්යය සාර්ථක කරගන්න වචනයකින් හෝ උදව් කල සැමට ලන්ඩන් ගොඩයා හිස නමනවා. ඒ වගේම අර්ජුන අයියට සුභ උපන් දිනයකුත් ප්‍රීතිමත් අනාගතයකුත් එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

Wednesday, January 5, 2011

බාක්ලේස් බයිසිකල් කුලියට දීම - Barclays Cycle Hire

ලන්ඩන් ගොඩයාට ඇත්තටම වෙලාවක් තිබ්බේ නෑ පටන් ගත්ත බ්ලොග් එක දිගටම කරගෙන යන්න. නමුත් ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න ගත්තේ ලන්ඩනයේ අළුතෙන්ම ආරම්භ කරපු ප්‍රවාහන ක්‍රමය ගැන ඔයාලට දැනුම් දෙන්න. ඒ තමයි "Barclays Cycle Hire" කියන සංකල්පය.

ලන්ඩන් නුවර බෙදලා තියෙනව කලාප කිහිපයකට. මේව අපි සාමාන්‍යයෙන් හදුන්වන්නේ "Zones" කියල. මධ්‍යම ලන්ඩනය අයත් වෙන්නෙ Zone අංක එකට. සාමාන්‍යයෙන් මධ්‍යම ලන්ඩනය කවුරුත් හදුන්වන්නේ මාර්ග තදබදය අධික කලාපයක් විදියට. ඉතින් යම් කිසි පුද්ගලයෙක් Zone අංක එකට වාහනයක් ඇතුළු කරනවානම් ඔහුට හෝ ඇයට සිද්ධ වෙනවා රජයට යම් කිසි බද්දක් ගෙවන්න. මේක හදුන්වන්නේ "Congestion Charge" එක කියලා. ඉතින් එන්ගලන්ත රජයට අවශ්‍ය වුනා මාර්ග තද බදයට පිලියමක් හැටියට බදු ක්‍රමයම නැතුව ජනතාවටත් සහනයක් වෙන තවත් ක්‍රමයක් ආරම්භ කරන්න. අවසානයේ මෙ හැම විශ්ලේෂන වලම ප්‍රතිපලයක් විදියට තමයි "Barclays Cycle Hire" සාමාන්‍ය ජනතාවට ඇරුනු තවත් සේවාවක් විදියට ලන්ඩන් ප්‍රවාහන සේවයට එකතු වුනේ.

මේක ආරම්භ කිරීමේ පුරෝගාමියා තමයි බොරිස් ජොන්සන්, ලන්ඩනයේ නගරධිපති. මෙතැනදී එංගලන්ත රජය විසින් ලන්ඩන් නුවර වෙන වෙනස් ස්ථාන වල බයිසිකල් ගාල් කිරීමේ තැන් (Docking Points) ස්ථාපිත කරලා තියෙනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි බයිසිකල් පාවිච්චි කරන ඕන පුද්ගලයෙකුට පුළුවන් එක ගාල් කිරීමේ ස්ථානයකින් බයිසිකලය අරගෙන, භාවිතයෙන් පස්සේ වෙනත් ගාල් කිරීමේ ස්ථානයක ගාල් කරන්න.බයිසිකලයක් කුලියට ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට ක්‍රම දෙකකට බයිසිකලයක් ගන්න පුළුවන්. පලවෙනි ක්‍රමය තමයි සාමාජිකයෙක් විදියට අන්තර්ජාලය හරහා ලන්ඩන් ප්‍රවාහන වෙබ් අඩවියේ (Transport For London) ලියාපදිංචි වීම. එහෙම නැත්නම් බයිසිකල් ගාල් කිරීමේ ස්ථානයකදී විද්‍යුත් කාඩ් පතක් මගින් අදාළ ගාස්තුව ගෙවලා බයිසිකලයක් කුලියට ගන්න පුළුවන්. ඕනෑම පුද්ගලයෙකුට තමුන්ගේ ප්‍රථම විනාඩි 30 නොමිලයේ ලැබෙනවා. ඉන් පස්සේ අය කරන ගාස්තුව තමුන් බයිසිකලය පාවිච්චි කරන කාලය මත වෙනස් වෙනවා. 2010 නොවැම්බර් මාසයේදී එංගලන්ත රජය තීරණය කර තිබෙනවා මේ සේවය 2012 ඔලිම්පික් ක්‍රීඩා සංකීරණය තිබෙන ප්‍රදේශය වෙන නැගෙනහිර ලන්ඩනයේ (Zone 3) ඉදලා මධ්‍යම ලන්ඩනය (Zone 1) වෙත පුළුල් කරන්න.

මෙය දැනට ලන්ඩන් නුවර ඉතාමත් සාර්ථක, ඒ වගේම ප්‍රචලිත සේවයක් හැටියට හදුන්වන්න පුළුවන්. මේ මගින් ජනතාවට ලැබෙන සහනය වගේම මුදල් අතින් වෙන ඉතිරිය කියල නිම කරන්න බැහැ. ඒ වගේම බයිසිකල් පැදීම හොද ව්‍යායාමයක්. ඉදිරියටත් එංගලන්ත රජය මගින් මේ සේවය වැඩි දියුණු කරන්න තව දුරටත් පියවර ගනියි කියල ලන්ඩන් ගොඩයා බලාපොරොත්තු වෙනවා. එමෙන්ම මේ සදහා අනුග්‍රහය ලබාදෙන බාක්ලේස් බැංකුවටත් ලන්ඩන් ගොඩය ස්තුතිවන්ත වෙනවා.

Tuesday, January 4, 2011

සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

උදාවූ 2011 නව වසර සියලුම ශ්‍රී ලාංකීයයන්ටත්, ලෝක වාසී සැමටත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වෙන්න කියලා ලන්ඩන් ගොඩයා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවුරුද්ද ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් සියලු දෙනාම කැප වෙන අවුරුද්දක් වේවි කියලත් ලන්ඩන් ගොඩයා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. රටින් ඈත හිටියත් පුළු පුළුවන් විදියට ලංකාවේ යහපතට උපරිම සහයෝගය දෙන්නත් ලන්ඩන් ගොඩයා පොරොන්දු වෙනවා.

ලන්ඩන් ගොඩයාගේ ආගමනය

ලන්ඩන් ගොඩයට මේ බ්ලොග් එක සිංහලෙන් හදන්න හිතුනේ,මේ වෙනකොට සිංහල භාෂවෙන් ලියවෙච්ච බ්ලොග් ගණනාවක් අන්තර්ජාලයේ දකින්න ලැබිච්ච නිසාත්, ඒ වගේම එන්ගලන්තය ගැන, විශේෂයෙන්ම එන්ගලන්තයේ අගනුවර වෙන ලන්ඩන් නුවර ගැන සාමාන්‍යයෙන් අපිට අහන්න නොලැබෙන විස්තර ගැන ඔයාලව දැනුවත් කරන්න හිතගෙනත්.

මාස කිහිපයකට කලින් ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් එක රෙජිස්ටර් කරත් ලන්ඩන් ගොඩයට කාලය, රැකියාව සහ අධ්‍යාපනය කියන සාධක මත මේ බ්ලොග් එක පවත්වාගෙන යන්න බැරිවුනා. නමුත් ලන්ඩන් ගොඩයා කොහොම හරි මේ බ්ලොග් එක සජීවීව තියාගන්න උත්සාහ ගන්නවා. මේක ලන්ඩන් ගොඩයට වඩා සාර්ථක කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ comments මට මේ සදහා ලැබෙනවානම්.