Sunday, September 11, 2011

නීතිගරුක පොලීසිය....

මේ කතාව ටික දවසක ඉදලම ලන්ඩන් ගොඩයාට ලියන්න හොදට උවමනාව තිබ්බා. නමුත් හැමදාම වගේ කාලය තමයි පරහට හිටියේ. මේක උනේ ලන්ඩන් ගොඩයා වැඩ කරන වෙලාවක. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති ලන්ඩන් ගොඩයා අර්ධ කාලීනව වැඩ කරන්නේ පැය 24ම ක්‍රියාත්මක වෙන ඉන්ධන පිරවුම් හලක. මේකේ ලන්ඩන් ගොඩයාට රැටත් වැඩ කරන්න තියෙනවා. ඔක්කොටම කලින් කියන්න අවශ්‍යයි මේ ඉන්ධන පිරවුම් හල් වල වැඩ කෙරෙන්නේ කොහොමද කියලා. ලංකාවේ වගේ නෙමෙයි වාහනේ රියදුරාම තමයි තමන්ට අවශ්‍යය තෙල් ප්‍රමාණය වාහනයට ගහ ගන්නේ. ඊට පස්සේ පැත්තකින් තියෙන අනෙකුත් අත්‍යවශ්‍ය බඩු තියෙන කඩ කොටසට ඇවිත් තමයි ගෙවීම් කරන්නේ. සමහරු තෙල් ගහගෙන ගෙවන්නේ නැතුව යන අවස්ථාත් ඕනෑතරම්. ඉතින් රැට මේ වගේ තැන්වල ගොඩක් වෙලාවල් වලට ඉන්නේ එක සේවකයෙක් විතරයි. මේ වෙලාවට පාරිභෝගිකයන්ට කඩේ ඇතුලට එන්න දෙන්නේ නැහැ. ඉස්සරහ තියෙන පොඩි කවුළුවකින් තමයි ගනුදෙනු කරන්නේ. විශේෂයෙන්ම ලන්ඩන් ගොඩයා වැඩකරන පිරවුම් හලේ රැට ගනුදෙනු කරනවානම් මුලින් සල්ලි ගෙවල තමයි තෙල් ලබාගන්නෙ. මේකට හේතුව තමයි රාත්‍රී කාලයේදී ගොඩක් තෙල් පුරවාගෙන පැනල යන අවස්ථා තිබ්බා නිසා. මෙතැනදී පොඩි ගැටළුවක් එනවා කාඩ් පත් මගින් ගනුදෙනු කරන අයට. ඒ තමයි සේවකයාට බැහැ අදාල පාරිභෝගිකයා තෙල් ගහගෙන ඉවර වෙනකම් ගනුදෙනුව සම්පූර්ණ කරන්න. එතකොට කරන්නේ තෙල් පුරවාගෙන ඉවර වෙනකම් කාඩ් පත සේවකයා ලග තියාගන්නවා. මේක සැහෙන සාමාන්‍ය තත්වයක්. හේතුව තමයි මේ රටවල් වල ගොඩක් පුද්ගලයින් ගනුදෙනු කරන්න කාඩ් පත් පාවිච්චි කරන නිසා. සමහරු කාඩ් පත් සේවකයා ලග තියන්න අකමැතියි. හේතුව සාධාරණයි. ඒ තමයි කාඩ් පත් වංචා වෙයි කියන බය නිසා. එතකොට අපි කරන්නේ පාරිභෝගිකයාගේ රියදුරු බලපත්‍රය හෝ වෙනත් හැදුනුම්පතක් අපි ලග තියා ගන්නවා. දැන් තමයි කතාව පටන් ගන්නේ.

මේක ලන්ඩන් ගොඩයා තනිවම රැ වැඩ කරන දවසක්. වෙලාව මම හිතන්නේ පාන්දර 1ට විතර ඇති. එක වාහනයක් ඇවිත් පොම්පයක් ලගින් නැවැත්තුවා. ඒ වෙලාවේ මුළු පිරවුම් හලටම තිබ්බේ ඒ වාහනේ විතරයි. රියදුරු අසුනේ හිටපු පුද්ගලයා වාහනෙන් බැහැලා ඇවිත් කෙලින්ම පොම්පේ ඉස්සුවා. සමහර වෙලාවට ඔහු "Pay First " කියන දැන්වීම දකින්නේ නැතුව ඇති. ඉතින් ලන්ඩන් ගොඩයා ලග තියෙන මයික්‍රෆෝනය අරගෙන කිව්වා මුලින් සල්ලි ගෙවන්න කියලා. ඉතින් ඔහු පොම්පය නැවත තියලා මගේ ලගට ඇවිත් කාඩ් එක දීලා කිව්වා පවුම් 20ක තෙල් දෙන්න කියලා. එතකොට මම කලින් කතාව ඔහුට කියලා කිව්වා කාඩ් එක මෙතන තියලා පොම්පය පාවිච්චි කරන්න කියලා. ඔහු මට කිව්වා තමුන් කාඩ් එක මෙතන තියන්න කැමති නෑ කියලා. ඉතින් මම ඔහුගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලුවා. එතකොට ඔහෝ ටිකක් හිතලා බලලා බොහොම නිහතමානීව මට ඔහුගේ රාජකාරි හැදුනුම්පත පෙන්නලා මගෙන් ඇහුවා "මම පොලිස් නිලධාරියෙක්. ඔබට ගණන් ගැනීමට පුලුවන්ද ?" කියලා. ලන්ඩන් ගොඩයා එක පාරටම ඔහුට "අනිවාර්යයෙන්ම" කියලා උත්තර දුන්නේ ඔහුගේ නිහතමානී කම නිසා හිතේ ඇතිවෙච්ච පැහැදීමත් එක්ක. ඊට පස්සේ ඔහු තෙල් ගහගෙන ඉවර වෙලා සුහදව කතා කරලා ගෙවලා ඉවර වෙලා යන්න ගියා. ඔන්න ඕකයි කතාව.

සමහරෙක්ට හිතෙන්න පුළුවන් මේක බ්ලොග් එකක ලියන්න තරම් දෙයක්ද කියලා. නමුත් ලන්ඩන් ගොඩයාට මේක හිතට හුගක් දැනුනේ ඒ පොලිස් නිලධාරියාගේ තිබිච්ච නිහතමානී කම ලංකාවේ පොලිස් නිලධාරියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියලා හිතිච්ච නිසා. මේකෙන් ලන්ඩන් ගොඩයා ලංකාවේ පොලිසිය හෝ පොලිස් නිලධාරීන්ව පහත් කරන්න හදනවා කියලා හිතන්න එපා. ඒ මොකද ලන්ඩන් ගොඩයාට හොදටම විශ්වාසයි පසුගිය මාසේ ලන්ඩනයේ වෙච්ච කලබල හා සමාන දෙයක් ලංකාවේ වුනා නම් අපේ පොලිසියේ මහත්වරුන් ඉතා ඉක්මනින් ඒක සමථය කරයි කියලා. නමුත් රටක දියුණුවකට නිහතමානී කම කියන එකත් ඉතාම වැදගත් කියලා ලන්ඩන් ගොඩයා තරයේ විශ්වාස කරනවා.