Sunday, October 30, 2011

ලංකාවේ සාහිත්‍යය මාසය, කියවීම සහ අපි...

ඇත්තටම මේ පොස්ට් එක ලන්ඩන් ගොඩයාට ලියන්න හිතිලා තිබුනේ පහුගිය මාසේ, ඒ කියන්නේ සැප්තැම්බර් වල. එකට හේතුව තමයි සැප්තැම්බර් මාසය "ජාතික සතිත්‍යය මාසය" කියල නම් කරලා තිබ්බ නිසා. ලන්ඩන් ගොඩයා මේ දවස් වෙද්දී "කෝස්" එකේ "අසයින්මන්ට්" වලට සෑහෙන්න හිර වෙලා හිටියේ. අසයින්මන්ට් හිතරක් නම් මදැයි. අලි මදිවට හරක් වගේ මේ පාර "ප්‍රොජෙක්ට්" එකකුත්. ඉතින් ගිය සතියේ තමයි ආයෙත් බ්ලොග් එක පැත්තේ එන්න පොඩි නිදහසක් ලැබුනේ.

ඉතින් මේ සාහිත්‍යය මාසය නිසා ලංකාවෙත් විවිධ වැඩසටහන් තියෙනවා කියල ලන්ඩන් ගොඩයාට ආරංචි වුනා. "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" මේ වැඩසටහන් වලින් ප්‍රධානම එකක් කියල කියන්න පුළුවන්. ඉස්සර කියමනක් තියෙනවනේ "කියවීම මිනිසා සම්පුර්ණ කරයි" කියලා. මේක කියමනේ වලංගුතාවය සහ මිනිස්සුන්ගේ ඒ පිළිබද තියෙන ආකල්පය පිළිබද පොඩි සංසන්දනයක් කරන්න ලන්ඩන් ගොදයට හිතුනා. කියවීම් අකියන දේ පොඩි කලේ ඉදලම පුරුද්දක් විදියට වෙන්න ඕන දෙයක් කියලා තමයි ලන්ඩන් ගොඩයාගේ මතය. මෑත කාලයේදී අපිට ගොඩක් දකින්න ලැබුණු දෙයක් තමයි අපේ අලුත් පරම්පරාව පරිගණකය තුරුල් කරගෙන පත පොත ඉවත දන එක. ලන්ඩන් ගොඩය නම් කොම්පියුටර වැඩත් කරනවා. ඒ වගේම අදටත් ලන්ඩන් ගොඩයා කියවන ඒක නවත්තලා නැහැ. ඉස්සර කියවපු "ෂර්ලොක් හෝම්ස්" "ටොම් සෝයර්" වගේ කතා වලට ලන්ඩන් ගොඩයා අදටත් ආසයි. කොටින්ම කියනවනම් ලන්ඩන් ගොඩයාට මතකයි 8 හෝ 9 පන්ති වල ඉදිද්දී ටොම් සෝයර් පොත කියවලා එකේ තියෙන වීර වැඩ කරන්නත් හිතිච්ච අවස්ථාවල්. කියවීම මගින් මිනිස්සුන්ට ලැබෙන දැනුම සහ ආකල්පමය දියුණුව වචනයෙන් කියන්න බැහැ. කියවීමට ලංකාවේ පාසල් වලින් සහ දෙමවුපියන්ගෙනුත් ලැබෙන අනුග්‍රහය ගැනත් මෙතැනදී පොඩි ගැටළුවක් තියෙනවා.

අනිත් දේ තමයි ලංකාවේ මෑත කාලයේ ඉන්න බොහොමයක් පොත් ප්‍රකාෂකයන්ගේනුත් සැබෑ නිර්මාණ කරුවෙකුට ලැබෙන අනුග්‍රහය බොහොම අඩුයි. පාඨකයන්ට හොද දෙයක් දෙනවට වඩා ඒ ගොල්ලන්ගේ අරමුණ විකුනන්න පුළුවන් වෙළඳ භාණ්ඩ පොත් රාක්ක වල පිරවීම. මේකෙන් හොද නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් නිර්මාණ කරුවොත් අධෛර්යයමත් වෙනවා. කොටින්ම කියනවනම් හොද නිර්මාණ කාරයෙක්ට ලංකාවේ ඒක වෘතියක් වශයෙන් කරන්න බැහැ. හේතුව තමයි හොද නිර්මාණ කාරයොන්ට අනුග්‍රාහකයෝ නැහැ. එහෙම වුනහම නිර්මාණ කාරයා දස අතේ නය වෙලා තමයි තමුන් ලියපු පොත ගහ ගන්න ඕන. පොත ගැහුවට පස්සේ පොත් ටිකත් එල්ලගෙන බස් එකේ රට වටේ යන්න ඕන පොත් ටික විකුණ ගන්න. මේක කොයි තරම් ප්‍රායෝගිකද කියලා ඔයගොල්ලන්ම හිතල බලන්න.

දැන් ලන්ඩන් ගොඩයා ලියන්න හදන්නේ එංගලන්තයේ කියවීම පිළබද තියෙන තත්වේ ගැන. අළුතෙන් කියන්න දෙයක් නැහැ මේ රටවල් වලට කොම්පුටර්, වීඩියෝ ගේම්, අයි පොඩ්, අයි ෆෝන් වගේ දේවල් අලුත් දේවල් නෙමෙයි. ලන්ඩන් ගොඩයා හැමදාම වැඩට යන්නේ කෝච්චියේ. මේක පොලව යටින් යන එකක්. Underground කියලා තමයි මේ ප්‍රවාහන සේවයට කියන්නේ. ඔයගොල්ලන්ට පුදුම හිතෙයි කෝච්චියකට නැග්ගොත් කොච්චර මිනිස්සු පොත්, පත්තර කියවනවද කියලා. කොටින්ම කියනවනම් මේසන් වැඩ කරන සේවකයා, ඒ වගේම කම්කරුවා පවා පොත් කියවමින් කෝච්චියේ යන අවස්ථා බහුලව දකින්න පුළුවන්. ඒ වගේම නිර්මාණකරුවන්ගේ නිර්මාණ සදහා තියෙන අනුග්‍රහයත් ඉතාම හොදයි. උදාහරණයක් විදියට ගත්තොත් දුම්රිය ස්ථානයක් ඇතුලට ගියොත් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් නොයෙකුත් අලුතෙන් පලවෙච්ච පොත් වල දැන්වීම්. මේ විදියට දැන්වීම් දාලා විකුනන්න පුළුවන් මට්ටමේ වෙළදපොලක් පොත් වලට තියෙනවා කියන එකෙන් කියවෙන්නේ පොත් වලට ඉතාමත් හොද ඉල්ලුමක් තියෙනවා කියන ඒක.

ඉතින් පොඩ්ඩක් හිතන්න. ලංකාවේ සාහිත්‍යයට තියෙන ඉල්ලුම, පිපාසය හැම අවුරුදේම සැප්තැම්බර් වලට විතරක් සීමා කරන්නේ නැතුව මුළු ජීවිත කාලයටම පවත්වාගන්න පුළුවන් නම් මීට වඩා ගොඩක් ලස්සන ලංකාවක් ඉදිරියට අපිට දැක ගන්න ලැබෙයි.