Sunday, July 22, 2012

London2012 ඔලිම්පික්

2011 සහ 2012 අවුරුදු කියන්නේ එංගලන්තයට ඉතාම වැදගත් සහ කාර්ය්‍යය බහුල අවුරුදු දෙකක් කියලා ලන්ඩන් ගොඩයා කලින් බ්ලොග් පොස්ට් එකකත් කිව්වා. මේකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි 2011 දී පැවැත්වුණු එංගලන්තයේ විලියම් කුමාරයාගේ සහ කේට් මිඩ්ල්ටන්ගේ රාජකීය මංගල්‍යය (Royal Wedding). අනික තමයි පසුගිය ජුනි මාසේ පැවැත්වුන එංගලන්තයේ මහ රැජිනගේ දියමන්ති ජුබිලි උත්සවය (Queen 's Diamond Jubilee). මේ උත්සව දෙකේ උණුසුම ඉවර වෙන්නත් කලින් දැන් 2012 ඔලිම්පික් උත්සවයත් ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා. සමහරෙකුට හිතෙන්න පුළුවන් මුළු ලෝකයම ආර්ථික පසුබෑමකට (recession) ඉන්න මේ වගේ වෙලාවක මෙවැනි උත්සව රටකට අනවශ්‍ය වියදමක් කියලා. නමුත් මේ වගේ උත්සව රටේ ආර්ථිකයට ඍජුව සහ වක්‍රව යහපත් ලෙස බලපාන බව තමයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් royal wedding එකට සහ diamond jubilee එකට ලක්ෂ සන්ක්යාත ජනකායක් රට තුලට ආව බව අපි කවුරුත් දන්නවා. මේ මගින් මෙරට හෝටල්, සුපිරි වෙළදසැල්, සිහිවටන සාප්පු සහ රෙදි පිළි ව්‍යාපාර අංශ වලට ලොකු දියුණුවක් ලැබුණා. තවත් උදාහරණයක් ගත්තොත් විලියම් කුමාරයාගේ බිරිද, කේට් මිඩ්ල්ටන්ගේ ඇදුම් මෝස්‌තර මුළු ලෝකයේම කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය වුනා. මේක විලාසිත අංශයට ඍජු ලෙස බලපෑවා. මේ වගේ දේවල් වලින් රටේ ජනතාවට ලොකු ප්‍රබෝධයක් වගේම ආර්ථික වශයෙනුත් විශාල දියුණුවක් ලැබෙන බවට ලන්ඩන් ගොඩයාත් විශ්වාස කරනවා. ඉතින් තව දවස් පහකින් ආරම්භ වෙන London2012 ඔලිම්පික් උත්සවයත් රටේ රැකියා මදිපාඩුවට සහ ආර්ථික දියුණුවට දෙවියෝ දුන්න තෑග්ගක් හැටියට හදුන්වන්න පුළුවන්. වැරදි විදියට හිතන්න එපා. ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් පොස්ට් එක ලියන්න තිතුවේ ආර්ථික විශ්ලේෂණයක්හෙම කරන්න නෙමෙයි. අද, ඒ කියන්නේ 2012 ජුලි 22 තමයි දවස් 64ක් තිස්සේ එක්සත් රාජධානිය වගේ ගමන් කරපු ඔලිම්පික් ගිනිසිළුව (Olympic Torch Relay) එක ලන්ඩන් ගොඩයා ඉන්න නගරය වෙන බාකින් වලට අවේ. උදේ 9.49 ට තමයි ගිනිසිළුව බාකින් වල ප්‍රධාන පිට්ටනියක් වෙන Barking Park එකට එන්න ඇස්තමේන්තු කරලා තිබ්බේ. ඉතින් ලන්ඩන් ගොඩයත් කලින් ඉදල අරන් තිබ්බ London2012 කැප් එකයි, ඔලිම්පික් ලාංජනේ පාට තියෙන Wrist Band ටිකයි දාගෙන උදේ 9.15 වගේ වෙද්දී පාර්ක් එකට ගියා. තනියම නෙමෙයි ලන්ඩන් ගොඩයාගේ යාලුවෝ වෙන දුලක්ෂි අක්කයි තුසිත අයියයි එක්ක.

කියපු වෙලාවට වගේ ගිනිසිළුව ගත්ත පිරිස අවා.මුළු එංගලන්තය පුරාවටම ගිනිසිළුව ගෙනියන්න අවස්ථාව ලැබිච්ච පුද්ගලයින් 8000ක් ඉන්නවා. ඒ ගොල්ලෝ රටට කරපු සේවයට රටේ ජනතාව විසින්ම තමයි නම් යෝජනා කරලා මේ ගොල්ලන්ව තෝරාගෙන තියෙන්නේ. ඉතින් ලන්ඩන් ගොඩයාත් මේ ගිනිසිළුව ගත්ත පුද්ගලයන් එක්ක හරි හරියට පාර්ක් එක ඇතුලේ දිව්වා. නැවතී නැවතී ෆොටෝ ගන්න ලොකු වෙලාවක් හිටියේ නැහැ. නමුත් තුසිත අය්යාට පුළුවන් උණා ලන්ඩන් ගොඩයා සහ ගිනිසිළුව හොදින් පෙනෙන මට්ටමේ පින්තූරයක් ගන්න. මේ පල්ලෙහා තියෙන්නේ ඒ පින්තූරේ.
ඔය පින්තූරේ ගිනිසිළුව ගෙනියන කාන්තාව වටේ අළුපාට ඇදගෙන දුවන්නේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ නිලධාරීන්. ලන්ඩන් ගොඩයා කලින් දවසක පත්තරේ දැක්කා එංගලන්තයේ වෙනත් ප්‍රදේශයක රැලිය ගමන් කරද්දී පොඩි ළමයි දෙන්නෙක් ගිනිසිළුව අල්ලන්න ගත්ත උත්සාහයක්. ඒක බොහොම සුළු සහ සාමකාමී සිදුවීමක්, නමුත් මේ වගේ අවස්ථාවකදී ආරක්ෂාව ඉතාම වැදගත්. ඉතින් යාලුවනේ, ලන්ඩන් ගොඩයාට බොහොම සතුටුයි අද මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන. සමහර විට මේක ජීවිතයටම ඒක පාරක් ලැබෙන අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒවගේම London2012 සංවිධායකයින් ජුලි 27 වෙනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී මුළු ක්‍රීඩාංගනයම එංගලන්තයේ ගම්බද පරිසරයක් විදියට පරිවර්තනය කරන්න යනවා කියලා ලන්ඩන් ගොඩයාට පත්තරේදී කියවන්න ලැබුණා. අලුත් දෙයක්. කොහොමහරි TV එකේ නැත්තම් internet එකේ හරි බලන්න. තවත් ගොඩක් දේවල් London2012 ගැන කියන්න තියෙනවා. ඒවා වෙන බ්ලොග් පොස්ට් එකක ලියන්න තමයි බලාපොරොත්තුව.

Thursday, May 31, 2012

ඔබ මුහුදු වෙරළ අභියසදී, අපි දුම්රිය මග අභියස....

.

අයෙත් ඉතින් මාස තුනකට විතර පස්සේ තමයි බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනේ. ඉතින් ලන්ඩන් ගොඩයා හිතනවා පහුගිය දවස්වල ඔයගොල්ලෝ හොදින් ඉන්න ඇති කියලා. මේ පෝස්ට් එකට පදනම් උනේ මේ තියෙන පුවත්පත් දැන්වීම. මේ දැන්වීම තිබුනේ ඊයේ (30/05/2012) උදේ Metro පත්තරේ. මට පොඩ්ඩක් මුලින්ම මේ පත්තරේ ගැන පොඩි හැදින්වීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේක ගැන දන්නේ නැති පාඨකයන්ට. Metro කියන්නේ ලන්ඩන් වල දුම්රිය ස්ථාන වල උදේට නොමිලයේ බෙදාහරින පුවත්පතක්. මේ පත්තරේ එදිනෙදා වෙනදේවල් ගැන update වෙන්න වගේම කෝච්චියේ යද්දී තනිය මකාගන්න හොද මිත්‍රයෙක්. විශේෂයෙන්ම අපි පොලව යටින් යන කොච්චි වල යද්දී දෙපැත්තෙන්ම පේන්නේ කළු පාට බිත්ති. බලන්න කිසිම දෙයක් නැහැ. මිනිස්සුන්ගේ මුණු දිහා බලාගෙන ඉන්නත් බැහැ. ඉතින් මේ වගේ වෙලාවක ideal ම දේ තමයි මොකක් හරි කියවන එක. ඉතින් තමුන් ලග කියවන්න මොකක් හරි පොතක් හෝ පත්තරයක් නැත්නම් Metro එක නිකම් දෙය්යෝ බැලුව වගේ. ඇත්තට මට ඊයේ මේ ad එකේ පින්තූරයක් ගන්න බැරි උනා. හොඳ වෙලාවට ගෙදර ඉන්න තුෂාර සහෝදරයා ලග තවත් පත්තරයක් තිබ්බා. ඉතින් අද ලන්ඩන් ගොඩයා බ්ලොග් පෝස්ට් එක ලියන්න කලින් මේකේ ෆොටෝ එකක් ගත්තා. හොදයි, දැන් අපි ad එක දිහා බලමුකෝ. මුලින් තියෙන පින්තූරේ තියෙන අකුරු පොඩි නිසා ලන්ඩන් ගොඩයා ටිකක් zoom කරපු පින්තූරයක් ගත්තා.

ඉතින් මේ දවස් වල ලන්ඩන් නගරය හරිම කලබලයි. ඒ විශේෂ හේතු කිහිපයක් නිසා. එකක් 2012 ඕලිම්පික් උත්සවය, අනික තමයි "දියමන්ති ජුබිලිය (Diamond Jubilee)". ඒ කියන්නේ දෙවෙනි එලිසබෙත් මහ රැජිනගේ 60 වෙනි ඔටුනු පැළදවීමේ සංවත්සරය. අනිත් හේතුව තමයි පරක්කු වෙච්ච summer එක. මේවා ගැන ලන්ඩන් ගොඩයා වෙනත් බ්ලොග් පෝස්ට් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් 2012 ඔලිම්පික් උත්සවය සහ දියමන්ති ජුබිලිය ගැන. මේ දියමන්ති ජුබිලිය නිසා ඉදිරි සති අන්තය දීර්ඝ සති අන්තයක් බවට බ්‍රිතාන්‍යය ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ ජුනි 2, 3, 4 සහ 5 යන දිනයන්. මෙන්න මෙතෙන්දි තමයි ඉහත පුවත්පත් දැන්වීම ගැන අපි කතා කරන්නේ.

එංගලන්තය කියන්නේ පොදු ප්‍රවාහන මාධ්‍යය ඉතාමත් බහුල ලෙස භාවිතා කරන රටක්. විශේෂයෙන් ලන්ඩන් නුවර තුලදී දුම්රිය ගමනාගමනය ඉතාමත් විශාල ලෙස භාවිතා වෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ සතියේ දවස් වල උදේ සහ හවස, තේරෙන භාෂාවෙන් කියනවනම් peak hours වල London Underground සේවයේ දුම්රිය දෙකක් අතර තියෙන්නේ තත්පර 30 ක වගේ වෙනසක්. එහෙම සේවාවක් පවත්වාගන්නේ නැතුව ඒ වෙලාවට ඉන්න සෙනග හසුරවගන්න බැහැ. ඉතින් එක දිගට මෙහෙම සේවාවක් දෙන්න නම් දුම්රිය මාර්ග සහ දුම්රිය වලට නිසි වෙලාවට නඩත්තු කිරීමට අවශ්‍යයි. ඉතින් මෙහෙ ගොඩක් දුම්රිය සමාගම් මේ නඩත්තු කිරීම් කටයුතු සදහා යොදා ගන්නේ සති අන්ත. එකට හේතුව තමයි සතියේ දවස් වලට සාපේක්ෂව සෙනග අඩු නිසා. උඩ පින්තූරේ තියෙන නෙට්වර්ක් රේල් කියන්නේ එංගලන්තේ එක විශාල දුම්රිය යතිතල පහසුකම් නඩත්තු කරන සමාගමක්. ඉතින් මේ සමාගමත් තමුන්ගේ නඩත්තු කිරීම් කරන්නේ සති අන්ත වල. සමහර විට මේ වගේ අවස්ථා වලදී සේවාව සිමා කරන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථා වලදී සම්පුර්ණ දුම්රිය මාර්ගයම තාවකාලිකව වහන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවස්ථා වලදී ඉහත ආකාරයේ සමාගම් පෙර දැනුම් දීමක් කරනවා තමුන්ගේ මගීන්ට අවහිරයක් නොවෙන විදියට තමුන්ගේ සති අන්ත ගනම් බිමන් සැලසුම් කරගන්න. විශේෂන්මේ මේ වගේ කලබල අධික කාල වල. ඒ වගේම සමහරක් දැන්වීම් තිබෙනවා දැනට ඉවර කරපු වැඩ ප්‍රමාණය සහ කරන්න තිබෙන වැඩ ප්‍රමාණය ගැන නිසි අවබෝධයක් මගීන්ට ලබා දෙන. මේ වගේ දැනුවත් කිරීම් ඒ සමාගම් හිතන්නේ තමුන්ගේ යුතුකමක් හැටියට. එහෙම නැත්නම් මේ වගේ සල්ලි ගෙවලා පත්තර වල දැන්වීම් දාන්න අවශ්‍යය නැහැනේ.

කොහොම නමුත් මේ ad එකට ලන්ඩන් ගොඩයාට ටිකක් හිත ගියා. ඒ තමයි ඉතාම සැලසුම් සහගත ලෙස වැඩ කිරීම, නිසි ලෙස මානව සම්බන්ධතා (Public Relations - PR) පවත්වාගෙන යාම සහ මහ ජනයාගේ හිතට වදින ලෙස තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම නිසා. අනිත් එක හරි විදියට මානව සම්බන්ධතා පවත්වාගෙන යනවනම් මහජනතාව තුලත් ලොකු විශ්වාශයක් ගොඩ නැගෙනවා අදාල ආයතන හෝ ආණ්ඩු ගැන. අපිටනම් ඉතින් ලංකාවේදී ගමනක් යද්දී හදිස්සියේ පාරවල් කඩාගෙන තියෙන එකෙන් වෙන බාධාවල් එච්චර අමුත්තක් නෙමෙයි :) නමුත් ලන්ඩන් ගොඩයා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීවත් හොද marketing සහ PR සංකල්ප ශ්‍රී ලංකාවේ දුම්රිය සහ ගමනාගමන අංශ වලත් පාවිච්චි වෙයි කියලා.

Sunday, February 12, 2012

අතීතයෙන් ආපු email එක...

ඉතින් යාලුවනේ අයෙත් ලන්ඩන් ගොඩයා කාලෙකට පස්සේ. හැමදාම කියන බයිලාවම තමයි, ලියන්න ගොඩක් දේවල් හිතේ තිබ්බත් busy වෙච්ච නිසා තමයි අලුත් පොස්ට් මොනවවත් දාන්න බැරි උනේ. ඔයාල දන්නවනේ අපි කාට හරි විශේෂ email එකක් ආවහම අපි ඒවා අපේ යාළුවන්ට, හිත මිත්‍රයන්ට forward කරනවනේ. ඉතින් පසුගිය සතියේ ලන්ඩන් ගොඩයට යාළුවෙක්ගෙන් ඒ වගේ email එකක් අවා. මේකේ subject එක තමයි "නැවත හැරී බලමු" කියන එක. ඉතින් ලන්ඩන් ගොඩයට මේක ගැන පොඩි කුතුහලයක් ඇති වෙලා email එක open කලා. වසර 2000 ට පෙර සහ පසු අපේ ජීවිත ගැන අපුරු විවර්ජනයක්. ලන්ඩන් ගොඩයාගේ හිත පටස් ගලා අවුරුදු ගණනාවක් ඈතට ගියා.

ලන්ඩන් ගොඩයට මතකයි පොඩි දවස් වල ඉරිදට දහම් පාසල් ගිහිල්ලා ආපු ගමන් රුපවාහිනියේ බලපු ඒ ලස්සන ටෙලි නාට්‍යයන්, අබ යාලුවෝ, රතු රෝස, සුසීමා වගේ කතා. පොඩ්ඩක් මතක් කරලා බලන්න ඒ නාට්‍යයත් එක්ක යන "සුවෙන් සිටින්නට සු එන සු" TV ad එක (LOL :D). මෑතකදී අපිට ඉන්දියාවේ ටෙලි නාට්‍යය, සිංහලෙන් හඩ කවලා බලන්න ලැබුණා. ඊට පස්සේ සිංහල නළු නිලියෝ යොදෝල ඉන්දියාවේ විදියට ඇදල කරලා ශ්‍රී ලංකාවේ නාට්‍යය හැදුවා. ඉන්දියාවට සහ ඒ නාලිකා වලට දොස් කියනවා නෙමෙයි. මම අර කලින් කිව්වා වගේ හොඳ ටෙලි නාට්‍යය ඉතිහාසයක් අපිට තියෙද්දී, ඇයි අපි අනුන්ව කොපි කරන්නේ. අයි අපි අපිවම බාල්දු කර ගන්නේ. අද වගේ තාක්ෂනයත් මෙච්චර දියුණු මට්ටමක නැති ඒ කාලේ, ඒ තරම් හොද නිර්මාණ බිහි වුනානම්, ඇයි ඒ දේ අද කරන්න බැරි ? බරපතලම දේ තමයි මේ කාලේ ටෙලි නාට්‍යය වල ගන්න දෙයක් තිටෙනවද කියන එක. කොල්ලෝ බූට් කන ඒවා. ගැණු මිනිස්සු පවුල් අවුල් කරගන්න ඒවා බලලා අපේ අයත් ඒ විදියට හැසිරෙන්න, වැඩ කරන්න පටන් අරන්. ලන්ඩන් ගොඩයා අහලා තියෙනවා සමහර ගෑනු මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එන මිනිහට කෑම ටික හදන්නේ නැතුව, ඉන්දියානු ටෙලි නාට්‍යය බල බල ඉදලා පවුල් අවුල් වෙච්ච අවස්ථාවනුත්.

අනිත් එක ඒ දවස් වල මිනිස්සුන්ගේ අද කාලේ වගේ මහා තරගයක් තිබ්බේ නෑ. ජීවිත හරි සරලයි. පොඩි ළමයින්ට අද වගේ කොම්පියුටර්, වීඩියෝ ගේම්, ඉන්ටර්නෙට් තිබ්බේ නැ. නමුත් ළමයි සමාජයෙන්, පරිසරයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, රස වින්දා. ඒ කාලේ අපි බලපු "පිස්සු පුසා", "හා හා හරි හාවා" වගේ කාටුන් අපිට කවදාවත් අමතක වෙයිද ? ඉස්සර TV එකේ "රොබින් හූඩ්" යද්දී ලන්ඩන් ගොඩයාත් උණ බටයකින් දුන්නක් හදාගෙන ලෑස්ති වෙලා ඉන්නවා කතාවේ සටන් ජවනිකා යන අවස්ථා වල ගේ ඇතුලේ සටන් කරන්න.

පොඩි කාලේ ඉදලම ලන්ඩන් ගොඩයාට ගොඩක් ගමේ යාලුවෝ හිටිය. ඉතින් ඉස්කෝලේ නිවාඩු දවස් වලට ඒ ගොල්ලොත් එක්ක සෙල්ලම් කරන එක, විශේෂයෙන්ම පය ගණන් කඳු පල්ලම් වල බයිසිකල් පදිනවා තරම් තවත් ආස දෙයක් ලන්ඩන් ගොඩයාට තිබ්බේ නෑ. සමහර දවස් වල බයිසිකල් පදින කොට බල්ලෝ එලවනවා, පාරවල් වැරදිලා අතරමන් වෙනවා. මේ දේවල් මතක් කරද්දී හරිම ආසයි. සමහර දවස් වල ගෙදරට හොරෙන් වැව් වල, මුහුදේ නාන්න වනවා. වෙළවල් වල මඩ නාගෙන ඇවිදින්න යනවා. අද කාලේ ලමයින්න්ට මේ වගේ කාලයක් අයෙත් එයිද ? අනිත් එක වීඩියෝ ගේම් වලට වහ වැටිච්ච ළමයින් එහෙම සතුටක් බලාපොරොත්තු වෙයිද ? මේවා ගැන කල්පනා කරද්දී හිතට පුංචි වේදනාවකුත් ඇති වෙනවා.

ඔයගොල්ලෝ දන්නවනේ අපි ඉස්සර අහලා තියෙන පාසල් ප්‍රේමයන් කොච්චර සුන්දරද කියල. love letter එකක් කියවද්දී ඇතිවෙන හැගීම මොනවගේද කියන එක ඔයාලත් love letters කියවල තියෙනවනම් මම අලුතෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ. ඉතින් ඉස්කෝලේ යන කාලේ ලන්ඩන් ගොඩයත් love letters බර ගානක් ලිව්වා (හැබැයි එකක්වත් දීලා නැහැ LOL :D). යාලුවෝ ගෑනු ළමයින්ට try කරද්දී ලන්ඩන් ගොඩයා තමයි ලියුම් ලිව්වේ. එකම format එක. නම් දෙක විතරයි විතරයි වෙනස් කරන්නේ (LOL :D). ඉතින් ඔයගොල්ලෝ
දන්නවනේ වසර 2000 ට පස්සේ ලංකාවේ ජංගම දුරකථන බහුලව භාවිතා වෙන්න ගත්තා. ඉස්කෝලේ ළමයි අතරත් මේවා ටික ටික ප්‍රචලිත වෙන්න ගත්තා. ඊට පස්සේ ඉතින් පෙම් හසුන් වලට තිත. SMS එකක් යවනවා "I Love You" කියල. එයින් පස්සේ ඉතින් මුළු ආදරේම ඉතින් sms මත තමයි. sms ටික DELETE කරා කියන්නේ ආදරේ ඉවරයි. ඔන්න ඕකයි අද තත්වය.

ඉතින් කතා කරනවානම් තව ගොඩක් දේවල් තියෙනවා. මෑත ඉතිහාසයේදී අපිට අමතක වෙච්ච තැන්, අපිට වැරදිච්ච තැන් බොහොමයි. සමහර දේවල් තවම අපිට මතක් කරගන්න, නිවැරදි කරගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒ වගේම තමයි මොබයිල් ෆෝන් එක, කොම්පියුටරය සහ ප්ලේ ස්ටේෂන් එකට ළමයින්ව බාර දෙන්නේ නැතුව අපිට ඒ ලැබිච්ච ලැබිච්ච දේවල් වලින් කොටසක්වත් අපේ ඉදිරි පරම්පරාවට ලැබෙනවානම් ලන්ඩන් ගොඩයා ගොඩක්ම කැමතියි. හැබැයි මම මේ කියන දේ සම්භාවිතාවය ගැන නම් ලන්ඩන් ගොඩයාගේ හිතේ පුංචි සැකයක් තියෙනවා. එහෙනම් බ්ලොග් පොස්ට් එක ඉවර කරන්න තමයි සුදානම. ඊට කලින් මගේ ඒ මතකය අවදි කරපු email එක ඔයාල අතරත් බෙදා ගන්න කැමතියි.

.....................................................................................................................................................

•වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
•වසර 2000ට පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්‌ කන ඒවයි බැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් ඒ විදියට හිතන්න වුනා.

•වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දී අම්මත් එක්ක පොළේ ගියා.

•වසර 2000ට පසු - ක්‍රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම් එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.

•වසර 2000ට පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම් ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.

•වසර 2000ට පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා. කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත් ජීවිතයකට මානසිකත්වයක් ආවා.

•වසර 2000ට පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
•වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා.
සිංහලෙන් කතා කරොත් කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන් කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.

•වසර 2000ට පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා.

•වසර 2000ට පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා.

•වසර 2000ට පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතා පත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.

•වසර 2000ට පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.

•වසර 2000ට පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙම කාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා.
•වසර 2000ට පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා. සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.

ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි. ගමේ හිටියත් කොළඹ හිටියත් ඒ දවස් සුන්ඳරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත් වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය ඒ හණමිටි, ගොඩේ කාලය කාට කාටත් නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනාඒත් තිත්ත වුනත් මේකම නේද යාලුවනේ ඇත්ත...
කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය...
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....