Sunday, July 22, 2012

London2012 ඔලිම්පික්

2011 සහ 2012 අවුරුදු කියන්නේ එංගලන්තයට ඉතාම වැදගත් සහ කාර්ය්‍යය බහුල අවුරුදු දෙකක් කියලා ලන්ඩන් ගොඩයා කලින් බ්ලොග් පොස්ට් එකකත් කිව්වා. මේකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි 2011 දී පැවැත්වුණු එංගලන්තයේ විලියම් කුමාරයාගේ සහ කේට් මිඩ්ල්ටන්ගේ රාජකීය මංගල්‍යය (Royal Wedding). අනික තමයි පසුගිය ජුනි මාසේ පැවැත්වුන එංගලන්තයේ මහ රැජිනගේ දියමන්ති ජුබිලි උත්සවය (Queen 's Diamond Jubilee). මේ උත්සව දෙකේ උණුසුම ඉවර වෙන්නත් කලින් දැන් 2012 ඔලිම්පික් උත්සවයත් ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා. සමහරෙකුට හිතෙන්න පුළුවන් මුළු ලෝකයම ආර්ථික පසුබෑමකට (recession) ඉන්න මේ වගේ වෙලාවක මෙවැනි උත්සව රටකට අනවශ්‍ය වියදමක් කියලා. නමුත් මේ වගේ උත්සව රටේ ආර්ථිකයට ඍජුව සහ වක්‍රව යහපත් ලෙස බලපාන බව තමයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් royal wedding එකට සහ diamond jubilee එකට ලක්ෂ සන්ක්යාත ජනකායක් රට තුලට ආව බව අපි කවුරුත් දන්නවා. මේ මගින් මෙරට හෝටල්, සුපිරි වෙළදසැල්, සිහිවටන සාප්පු සහ රෙදි පිළි ව්‍යාපාර අංශ වලට ලොකු දියුණුවක් ලැබුණා. තවත් උදාහරණයක් ගත්තොත් විලියම් කුමාරයාගේ බිරිද, කේට් මිඩ්ල්ටන්ගේ ඇදුම් මෝස්‌තර මුළු ලෝකයේම කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය වුනා. මේක විලාසිත අංශයට ඍජු ලෙස බලපෑවා. මේ වගේ දේවල් වලින් රටේ ජනතාවට ලොකු ප්‍රබෝධයක් වගේම ආර්ථික වශයෙනුත් විශාල දියුණුවක් ලැබෙන බවට ලන්ඩන් ගොඩයාත් විශ්වාස කරනවා. ඉතින් තව දවස් පහකින් ආරම්භ වෙන London2012 ඔලිම්පික් උත්සවයත් රටේ රැකියා මදිපාඩුවට සහ ආර්ථික දියුණුවට දෙවියෝ දුන්න තෑග්ගක් හැටියට හදුන්වන්න පුළුවන්. වැරදි විදියට හිතන්න එපා. ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් පොස්ට් එක ලියන්න තිතුවේ ආර්ථික විශ්ලේෂණයක්හෙම කරන්න නෙමෙයි. අද, ඒ කියන්නේ 2012 ජුලි 22 තමයි දවස් 64ක් තිස්සේ එක්සත් රාජධානිය වගේ ගමන් කරපු ඔලිම්පික් ගිනිසිළුව (Olympic Torch Relay) එක ලන්ඩන් ගොඩයා ඉන්න නගරය වෙන බාකින් වලට අවේ. උදේ 9.49 ට තමයි ගිනිසිළුව බාකින් වල ප්‍රධාන පිට්ටනියක් වෙන Barking Park එකට එන්න ඇස්තමේන්තු කරලා තිබ්බේ. ඉතින් ලන්ඩන් ගොඩයත් කලින් ඉදල අරන් තිබ්බ London2012 කැප් එකයි, ඔලිම්පික් ලාංජනේ පාට තියෙන Wrist Band ටිකයි දාගෙන උදේ 9.15 වගේ වෙද්දී පාර්ක් එකට ගියා. තනියම නෙමෙයි ලන්ඩන් ගොඩයාගේ යාලුවෝ වෙන දුලක්ෂි අක්කයි තුසිත අයියයි එක්ක.

කියපු වෙලාවට වගේ ගිනිසිළුව ගත්ත පිරිස අවා.මුළු එංගලන්තය පුරාවටම ගිනිසිළුව ගෙනියන්න අවස්ථාව ලැබිච්ච පුද්ගලයින් 8000ක් ඉන්නවා. ඒ ගොල්ලෝ රටට කරපු සේවයට රටේ ජනතාව විසින්ම තමයි නම් යෝජනා කරලා මේ ගොල්ලන්ව තෝරාගෙන තියෙන්නේ. ඉතින් ලන්ඩන් ගොඩයාත් මේ ගිනිසිළුව ගත්ත පුද්ගලයන් එක්ක හරි හරියට පාර්ක් එක ඇතුලේ දිව්වා. නැවතී නැවතී ෆොටෝ ගන්න ලොකු වෙලාවක් හිටියේ නැහැ. නමුත් තුසිත අය්යාට පුළුවන් උණා ලන්ඩන් ගොඩයා සහ ගිනිසිළුව හොදින් පෙනෙන මට්ටමේ පින්තූරයක් ගන්න. මේ පල්ලෙහා තියෙන්නේ ඒ පින්තූරේ.
ඔය පින්තූරේ ගිනිසිළුව ගෙනියන කාන්තාව වටේ අළුපාට ඇදගෙන දුවන්නේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ නිලධාරීන්. ලන්ඩන් ගොඩයා කලින් දවසක පත්තරේ දැක්කා එංගලන්තයේ වෙනත් ප්‍රදේශයක රැලිය ගමන් කරද්දී පොඩි ළමයි දෙන්නෙක් ගිනිසිළුව අල්ලන්න ගත්ත උත්සාහයක්. ඒක බොහොම සුළු සහ සාමකාමී සිදුවීමක්, නමුත් මේ වගේ අවස්ථාවකදී ආරක්ෂාව ඉතාම වැදගත්. ඉතින් යාලුවනේ, ලන්ඩන් ගොඩයාට බොහොම සතුටුයි අද මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන. සමහර විට මේක ජීවිතයටම ඒක පාරක් ලැබෙන අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒවගේම London2012 සංවිධායකයින් ජුලි 27 වෙනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී මුළු ක්‍රීඩාංගනයම එංගලන්තයේ ගම්බද පරිසරයක් විදියට පරිවර්තනය කරන්න යනවා කියලා ලන්ඩන් ගොඩයාට පත්තරේදී කියවන්න ලැබුණා. අලුත් දෙයක්. කොහොමහරි TV එකේ නැත්තම් internet එකේ හරි බලන්න. තවත් ගොඩක් දේවල් London2012 ගැන කියන්න තියෙනවා. ඒවා වෙන බ්ලොග් පොස්ට් එකක ලියන්න තමයි බලාපොරොත්තුව.

No comments:

Post a Comment