Wednesday, January 5, 2011

බාක්ලේස් බයිසිකල් කුලියට දීම - Barclays Cycle Hire

ලන්ඩන් ගොඩයාට ඇත්තටම වෙලාවක් තිබ්බේ නෑ පටන් ගත්ත බ්ලොග් එක දිගටම කරගෙන යන්න. නමුත් ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න ගත්තේ ලන්ඩනයේ අළුතෙන්ම ආරම්භ කරපු ප්‍රවාහන ක්‍රමය ගැන ඔයාලට දැනුම් දෙන්න. ඒ තමයි "Barclays Cycle Hire" කියන සංකල්පය.

ලන්ඩන් නුවර බෙදලා තියෙනව කලාප කිහිපයකට. මේව අපි සාමාන්‍යයෙන් හදුන්වන්නේ "Zones" කියල. මධ්‍යම ලන්ඩනය අයත් වෙන්නෙ Zone අංක එකට. සාමාන්‍යයෙන් මධ්‍යම ලන්ඩනය කවුරුත් හදුන්වන්නේ මාර්ග තදබදය අධික කලාපයක් විදියට. ඉතින් යම් කිසි පුද්ගලයෙක් Zone අංක එකට වාහනයක් ඇතුළු කරනවානම් ඔහුට හෝ ඇයට සිද්ධ වෙනවා රජයට යම් කිසි බද්දක් ගෙවන්න. මේක හදුන්වන්නේ "Congestion Charge" එක කියලා. ඉතින් එන්ගලන්ත රජයට අවශ්‍ය වුනා මාර්ග තද බදයට පිලියමක් හැටියට බදු ක්‍රමයම නැතුව ජනතාවටත් සහනයක් වෙන තවත් ක්‍රමයක් ආරම්භ කරන්න. අවසානයේ මෙ හැම විශ්ලේෂන වලම ප්‍රතිපලයක් විදියට තමයි "Barclays Cycle Hire" සාමාන්‍ය ජනතාවට ඇරුනු තවත් සේවාවක් විදියට ලන්ඩන් ප්‍රවාහන සේවයට එකතු වුනේ.

මේක ආරම්භ කිරීමේ පුරෝගාමියා තමයි බොරිස් ජොන්සන්, ලන්ඩනයේ නගරධිපති. මෙතැනදී එංගලන්ත රජය විසින් ලන්ඩන් නුවර වෙන වෙනස් ස්ථාන වල බයිසිකල් ගාල් කිරීමේ තැන් (Docking Points) ස්ථාපිත කරලා තියෙනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි බයිසිකල් පාවිච්චි කරන ඕන පුද්ගලයෙකුට පුළුවන් එක ගාල් කිරීමේ ස්ථානයකින් බයිසිකලය අරගෙන, භාවිතයෙන් පස්සේ වෙනත් ගාල් කිරීමේ ස්ථානයක ගාල් කරන්න.බයිසිකලයක් කුලියට ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට ක්‍රම දෙකකට බයිසිකලයක් ගන්න පුළුවන්. පලවෙනි ක්‍රමය තමයි සාමාජිකයෙක් විදියට අන්තර්ජාලය හරහා ලන්ඩන් ප්‍රවාහන වෙබ් අඩවියේ (Transport For London) ලියාපදිංචි වීම. එහෙම නැත්නම් බයිසිකල් ගාල් කිරීමේ ස්ථානයකදී විද්‍යුත් කාඩ් පතක් මගින් අදාළ ගාස්තුව ගෙවලා බයිසිකලයක් කුලියට ගන්න පුළුවන්. ඕනෑම පුද්ගලයෙකුට තමුන්ගේ ප්‍රථම විනාඩි 30 නොමිලයේ ලැබෙනවා. ඉන් පස්සේ අය කරන ගාස්තුව තමුන් බයිසිකලය පාවිච්චි කරන කාලය මත වෙනස් වෙනවා. 2010 නොවැම්බර් මාසයේදී එංගලන්ත රජය තීරණය කර තිබෙනවා මේ සේවය 2012 ඔලිම්පික් ක්‍රීඩා සංකීරණය තිබෙන ප්‍රදේශය වෙන නැගෙනහිර ලන්ඩනයේ (Zone 3) ඉදලා මධ්‍යම ලන්ඩනය (Zone 1) වෙත පුළුල් කරන්න.

මෙය දැනට ලන්ඩන් නුවර ඉතාමත් සාර්ථක, ඒ වගේම ප්‍රචලිත සේවයක් හැටියට හදුන්වන්න පුළුවන්. මේ මගින් ජනතාවට ලැබෙන සහනය වගේම මුදල් අතින් වෙන ඉතිරිය කියල නිම කරන්න බැහැ. ඒ වගේම බයිසිකල් පැදීම හොද ව්‍යායාමයක්. ඉදිරියටත් එංගලන්ත රජය මගින් මේ සේවය වැඩි දියුණු කරන්න තව දුරටත් පියවර ගනියි කියල ලන්ඩන් ගොඩයා බලාපොරොත්තු වෙනවා. එමෙන්ම මේ සදහා අනුග්‍රහය ලබාදෙන බාක්ලේස් බැංකුවටත් ලන්ඩන් ගොඩය ස්තුතිවන්ත වෙනවා.

Tuesday, January 4, 2011

සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

උදාවූ 2011 නව වසර සියලුම ශ්‍රී ලාංකීයයන්ටත්, ලෝක වාසී සැමටත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වෙන්න කියලා ලන්ඩන් ගොඩයා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවුරුද්ද ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් සියලු දෙනාම කැප වෙන අවුරුද්දක් වේවි කියලත් ලන්ඩන් ගොඩයා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. රටින් ඈත හිටියත් පුළු පුළුවන් විදියට ලංකාවේ යහපතට උපරිම සහයෝගය දෙන්නත් ලන්ඩන් ගොඩයා පොරොන්දු වෙනවා.

ලන්ඩන් ගොඩයාගේ ආගමනය

ලන්ඩන් ගොඩයට මේ බ්ලොග් එක සිංහලෙන් හදන්න හිතුනේ,මේ වෙනකොට සිංහල භාෂවෙන් ලියවෙච්ච බ්ලොග් ගණනාවක් අන්තර්ජාලයේ දකින්න ලැබිච්ච නිසාත්, ඒ වගේම එන්ගලන්තය ගැන, විශේෂයෙන්ම එන්ගලන්තයේ අගනුවර වෙන ලන්ඩන් නුවර ගැන සාමාන්‍යයෙන් අපිට අහන්න නොලැබෙන විස්තර ගැන ඔයාලව දැනුවත් කරන්න හිතගෙනත්.

මාස කිහිපයකට කලින් ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් එක රෙජිස්ටර් කරත් ලන්ඩන් ගොඩයට කාලය, රැකියාව සහ අධ්‍යාපනය කියන සාධක මත මේ බ්ලොග් එක පවත්වාගෙන යන්න බැරිවුනා. නමුත් ලන්ඩන් ගොඩයා කොහොම හරි මේ බ්ලොග් එක සජීවීව තියාගන්න උත්සාහ ගන්නවා. මේක ලන්ඩන් ගොඩයට වඩා සාර්ථක කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ comments මට මේ සදහා ලැබෙනවානම්.