Monday, September 9, 2013

අඳුරට සාප කරනවට වඩා එක පහනක් හෝ දැල්වීම හෙවත් UK Solar Power


ඉතින් යාලුවනේ, අයෙත් ඉතින් ටික කාලෙකට පස්සේ තමයි බ්ලොග් පොස්ට් එකක් ලියන්න පුළුවන් උනේ. හැමදාම කියන එකම තමයි කියන්න තියෙන්නේ. වැඩ වැඩ වැඩ. ඉවරයක් නෑ.

පහුගිය අගෝස්තු 24, 25 සහ 26 කියන්නේ UK වල දීර්ඝ සති අන්තයක්. ඉතින් මගේ යහළුවන් කිහිප දෙනෙක්ගෙන් පොඩි ආරාධනාවක් ආව out of London වලට trip එකක් යන්න. ඉතින් ලන්ඩන් ගොඩයාත් මේ ඒකාකාරී ජීවිතෙන් හෙම්බත් වෙලා හිටපු නිසා බොහොම කැමැත්තෙන් මේ ආරාධනාව පිලිගත්තා. යන්න plan කරගත්තේ Bristol, Sidmouth, Exeter සහ Dorset කියන පැති වලට. මේ නගර හැම එකක්ම තියෙන්නේ නිරිතදිග එංගලන්තයේ ඉතාම සුන්දර වෙරළ තීරයත් එක්ක. නමුත් එක පැත්තකින් වෙරළ තිබ්බත්, අනිත් පැත්තෙන් ඉතාම ලස්සන කදු යායත් දකින්නත් පුළුවන්. බැටළුවෝ, අශ්වයෝ වගේ කෘෂිකාර්මික සත්තුත් මේ ප්‍රදේශ වල අඩුවක් නැහැ. ඉතින් ලන්ඩන් ගොඩයා මේ දවස් තුන බොහොම සතුටෙන් තමයි ගත කලේ. summer එක ඒ දවස් වෙද්දී ඉවර වෙන්න ලං වෙලා තිබ්බත් ඉර එළියේ අඩුවක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි කට්ටියට UK වල ලෝක උරුමයක් කියල හැදින්වෙන Jurassic Coast මුහුදු තීරයේ තියෙන Lulworth Cove අසල මුහුදේ නාන්නත් පුළුවන් උනා.

ඉතින් මම අද මේ බ්ලොග් පොස්ට් එක ලියන්න හිතුවේ අපේ trip ගැනවත්, UK වල සොභාව සෞන්ධර්යය ගැන කියන්නවත් නෙමෙයි. ගමන අතර මැද්දෙදි දකින්න ලැබිච්ච, අපේ රටට බොහොම වැදගත් සහ කාලීනයි කියල හිතිච්ච දෙයක් ගැන ඔයාලට කියන්න. මුලින්ම පල්ලෙහා තියෙන photo එක බලන්නකෝ. පින්තූරේ ලොකුවට පැහැදිලි නැත්තේ වාහනේ highway එකක යද්දී ගත්ත නිසා [ මේක තිබුනේ කොයි ප්‍රදේශයේද කියන එක මතක නැහැ :( ].

මොකක්ද කියල හිතාගන්න පුලුවන්ද ? මේක අක්කර ගානක් පැතිරිච්ච Solar Power Plant එකක්. මේක දැක්ක ගමන් එක පාරටම ලන්ඩන් ගොඩයාට පුදුම හිතුනා. මෙහේ ගෙවල් වල හයි කරපු solar panels ඕනෑතරම් ලන්ඩන් ගොඩයා දැකලා තිබ්බත්, මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කොහෙදිවත් දැකලා තිබ්බේ නෑ. ඔන්න, දැන් තමයි වාහනේ හිටපු කට්ටියම මේක ගැන කතාකරන්න ගත්තේ.

1.) UK වල වැඩි අව්වකුත් නැතුව මේක practical ද බන් ?

2.) මෙච්චර මෙහෙ මේවා කරනවානම් ඇයි ලංකාවේ කරන්න බැරි ?

3.) ඇයි ලංකාව බොරුවට PRIVATE diesel power plants වලින් කරන්ට් ගන්නේ මේ වගේ options තියෙද්දී ?

මේ වගේ ප්‍රශ්න ගණනාවක් කට්ටියගෙන්ම මතු වුනා වගේම හැමෝම තම තමුන්ගේ අදහස් ප්‍රකාශ කලා. ඔය මම කලින් කියපු තුන්වෙනි ප්‍රශ්නේ අහද්දී නම් ලංකාවේ දේශපාලනය ගැන එහෙම හොද හොද දේවල් කට්ටියගෙන්ම කිය වුනා. නමුත් ලන්ඩන් ගොඩයා ඒවා මෙතන කියන්න කැමති නැහැ, මොකද මේක දේශපාලනික බ්ලොග් එකක් නොවෙන නිසා සහ ලන්ඩන් ගොඩයා මේ බ්ලොග් එක හැදුවේ ගත්තේ ලංකාව ගැනවත්, අපේ ආණ්ඩුව ගැනවත් විවේචනය කරන්න නෙමයි නිසා.

අපි මුලින්ම UK සංඛ්‍යා ලේඛන ටිකක් අරන් බලමු.

2011 වෙද්දී, එක්සත් රාජධානියේ ස්ථාපිත කරපු සූර්ය බල ශක්ති ව්‍යාපෘති 230,000 පමණ වාර්තා වෙලා තියෙනවා. 2012 අවුරුද්දේ පෙබරවාරි වෙද්දී, මේ සූර්ය විදුලි බලාගාර වලින් නිෂ්පාදනය කරපු විදුලිය 750MW (2011) ඉදලා 1000MW වෙනකම් වැඩිවෙලා. ඉතින් අපි හැමෝම දන්නවනේ, UK කියන්නේ අවුරුද්ද පුරාවටම අව්ව තියෙන රටක් නෙමෙයි. මුළු රටේම සූර්යතාපනය (insolation), ඒ කියන්නේ දවසකට පෘෂ්ඨයක් (surface) මතට වැටෙන සූර්ය කිරණ ප්‍රමාණය 2.9 kWh/m²/day වලට වඩා අඩුයි. Scotland කියන ප්‍රදේශයේ තියෙන වර්ග කිලෝමීටර 1000ක් විශාල solar farm එකකට හැකිවෙලා තියෙනවා, ඒ මුළු ප්‍රදේශයටම අවශ්‍ය විදුලි ඉල්ලුම සපුරන්න. මෙතැනදී ලන්ඩන් ගොඩයාට මතක් කරලා දෙන්න ඕන එංගලන්තයේ මිනිස්සු හීතල නිසා නාන්නේ කරන්නේ උණු වතුරෙන්. ඒකට පාවිච්චි වෙන්නේ විදුලිය. සීතල කාලෙට ගෙවල් උණුසුම් කරගන්න heater වැඩ කරන්නේ විදුලියෙන්. ශ්‍රී ලාංකික පුරවැසියෙක් පාවිච්චි කරනවට වඩා 93.07%ක් විදුලිය එක්සත් රාජධානියේ පුරවැසියෙක් පාවිච්චි කරනවා. සිංහලෙන් කියනවනම්, ලංකාවේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරනවට වඩා සැහෙන විදුලියක් වැය වෙනවා මෙහෙ එදිනෙදා ගෘහස්ත කටයුතු වලට. පොඩ්ඩක් හිතන්න, නමුත් Scotland වල ජනතාවට පුළුවන් වෙලා තියෙනවා සූර්ය බල ශක්තියෙන් මේ අධික විදුලි ඉල්ලුම සපුරගන්න. ජල විදුලිය, න්‍යෂ්ටික බලය, සුළං බලය සහ කාබන් ආශ්‍රිත විකල්ප මේ පැත්තේ පාවිච්චි වෙන්නේ winter එකේදී විතරයි. UK වල මෑත භාගයේදී සූර්ය බල ශක්තිය ඉතාම ප්‍රචලිත වෙන්න හේතුව තමයි රාජ්‍ය මැදිහත් වීම. 2010 දී මෙහෙ ආණ්ඩුව හදුන්වාදුන්න Feed-in tariff ප්‍රතිපත්තිය ස්වභාවික බලශක්ති ව්‍යාපෘති ඉක්මන් කරවන්න ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. මේකෙදි වෙන්නේ පාරිබෝගිකයා ස්වභාවික බලශක්ති (solar power, wind power) පාවිච්චි කරනවානම්, තමුන් වැඩිපුර නිපදවන විදුලිය ජාතික ජාලයට එකතු කරන්න අවසර ලබා දීම. මෙමගින් පාරිබෝගිකයාට අතිරේක ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා වගේම තමුන්ගේ විදුලි බිල අඩු කර ගැනීමටද හැකියාව ලැබෙනවා.

දැන් අපි ලංකාවේ සංඛ්‍යා ලේඛන ටිකක් බලමු.

ශ්‍රී ලංකාව සමකයට ආසන්න රටක්. ඒ කියන්නේ අවුරුද්ද පුරාවටම එකාකාරී ඉර එළියක් ලැබෙනවා. ලංකාවේ භූමියෙන් තුනෙන් දෙකක්ම වියළි කලාප ලෙසට තමයි නම් කරලා තියෙන්නේ. මේ වියලි කලාපයට සූර්යතාපනය 4.0 – 4.5 kWh/m²/day අතර ලැබෙනවා. ඒ කියන්නේ UK වලට ලැබෙනවට වඩා දෙගුණයකට ලඟයි. නුවර එළිය වගේ තෙත් කලාප වල සූර්යතාපනය 2.0 – 3.5 kWh/m2/day අතර තමයි තියෙන්නේ. 2012 දී, 48% ක නිෂ්පාධිත විදුලිය ලබාගෙන තියෙන්නේ පෞද්ගලික බලශක්ති ආයතන වලින්. මේ ප්‍රතිශතය 5% වැඩිවීමක් 2011 (43%) වසරට සාපේක්ෂව.

අපි යන්නේ කොයිබටද ?

ලන්ඩන් ගොඩයාට පෙනිච්ච දේ තමයි සූර්ය බල ශක්තිය දියුණු කරන්න ලංකාවේ රාජ්‍ය මට්ටමෙන් තියෙන අනුග්‍රහය උපරිම මට්ටමෙන් නැහැ කියලා. ලංකා විදුලි බල මණ්ඩලය එන්න එන්නම පාඩු ලබන ආයතනයක් වෙලා තියෙන්නේ 60%කට වඩා වැඩි විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කරන්න මිල අධික ඉන්ධන පාවිච්චි කරන නිසා. මේ ගොල්ලෝ ලබන පාඩුව අනිත් පැත්තෙන් සාමාන්‍ය පාරිබෝගිකයට තමයි බලපාන්නේ. සාමාන්‍ය ලාංකිකයා මෑතකදී 127% කින් වැඩි වෙච්ච විදුලි බිලක් ගෙවන්නේ නාන්න උණු වතුර පාවිච්චි කරලා හෝ හීතලෙන් ආරක්ෂා වෙන්න heater පාවිච්චි කරලා නෙමෙයි. යන්තම් කළුවර මකාගන්න ලයිට් එකක් දාගන්න හෝ ඇදුම් ටික මැදගන්න iron එකක් පාවිච්චි කරනවා වගේ වැඩ වලට. මේක හරිද ?

මෙතන ගැටලුව තියෙන්නේ ලංකාවේ යටිතල පහසුකම් වල ආයෝජනය කිරීම කොයි තරම් දුරට ප්‍රායෝගිකද කියන එක. සුබ ලකුණක් විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බුරුතකන්ද කියන ප්‍රදේශයේ "Buruthakanda Solar Park" නමින් 1.7GWhක වාර්ෂික ධාරිතාවක් සැපයිය හැකි solar power plant එකක් ඉදිවෙමින් පවතිනවා. ඒ එක්කම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාතික විදුලි ජාල සම්බන්ධ කරන ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපෘතියේ අපේක්ෂාව තමයි රටවල් දෙක අතර වැඩිපුර නිපදවන විදුලිය විකිණීමට පහසු කිරීම. ඉන්දියාවට කෙසේ වෙතත් ලංකාවට මේ ව්‍යාපෘතියෙන් තියෙන වාසිය ගැන නම් ලන්ඩන් ගොඩයාට පොඩි කුතුහලයක් තියෙනවා, එකට හේතුව තමයි වර්තමාන නිෂ්පාදන තත්වයන් යටතේ ජාතික සැපයුමවත් පාඩු නොලබා කරන්න බැරි අස්සේ අපිට excess power export කරන්න පුලුවන්ද කියන එක lol :D.

ඉතින් යාලුවනේ, කියන්න තව දේවල් තිබ්බත් බ්ලොග් පොස්ට් එක bulky වගේ දැනිච්ච නිසා නවත්තනවා. stats ගොඩක් ගත්තේ online reports සහ websites වලින්. සමහර විස්තර subject to further research. මොනවා හරි වැරද්දක් තියෙනවනම් හරි වෙනත් අදහසක් තියෙනවනම් හරි, comments are welcome.

1 comment:

  1. ට්‍රිප් එකේදී මට හිතිච්ච දේවල් එහෙම්මම අකුරු කරලා තියෙනවා ලන්ඩන් ගොඩයා. හොඳ analysis එකක්. අපේ බලධාරීන් ගේ ඇස් කවදා ඇරෙයි ද මන්ද (හැබැයි උන් ඇත්තටම නිදි නැහැ.. වාසියට හොර නිදි)

    ReplyDelete