Thursday, October 17, 2013

විදුලි කාර්මික මහතා හය වෙනි වේදිකාවේ තිබෙන දුම්රියට පැමිණෙන්න....

ඉතින් යාලුවනේ කොහොමද ? ලන්ඩන් ගොඩයාට නම් විශේෂයක් නැහැ. පුරුදු විදියටම ඉන්නවා. නමුත් මේ දවස් වල ටිකක් හීතලයි. මේ UK වල autumn එක. තව ටික දවසකින් winter එක එනවා. එතකොට තමයි ලංකාව මතක් වෙන්නේ. අද බ්ලොග් එක ලියන්න පදනම් උනේ ලන්ඩන් ගොඩයා FB එකේ ඉදිද්දී දකින්න ලැබිච්ච status update එකක්. FB එකේ තියෙන නානාප්‍රකාර status වලින් ඔලුව කොලොප්පන් වෙලා හිටිය ලන්ඩන් ගොඩයාට නම් මේක ටිකක් වෙනස් ආකාරයේ status update එකක් විදියට තමයි පෙනුනේ. මුලින්ම ඒක බලලා ඉන්නකෝ. 

"විදුලි කාර්මික මහතා හය වෙනි වේදිකාවේ තිබෙන දුම්රියට පැමිණෙන්න - Feeling annoyed at Maradana Railway Station"

ඉතින් යාලුවනේ, මේ status update එක දාල තිබ්බේ මගේ ඉස්කෝලේ හොදම යාලුවෙක්. Data Protection concerns නිසා එයාගේ නම publish කරන්නේ නැහැ. මේක මුලින් දැක්ක ගමන් ලන්ඩන් ගොඩයාට හිනා ගියා. වැරදියට හිතන්න එපා. ඒ මගේ යාලුවට වෙච්ච අපහසුතාවය නිසා නෙමෙයි. හුදෙක්ම status එකේ තිබ්බ විහිලු ගතිය නිසා. මේක කියවපු වෙලාවේ, මේකත් තවත් එක status update එකක් කියලා හිතුනත් පස්සේ ලන්ඩන් ගොඩයාට හිතුනා මේක ඇතුලේ ගොඩක් දේවල් කියවිලා තියෙනවා කියලා.

අපි දැන් ඉන්නේ 21 වෙනි ශතවර්ෂයේ. ලෝකයේ සන්නිවේදන තාක්ෂණය ඉතාමත් දියුණු මට්ටමක තියෙන්නේ. ලංකාවේ උනත් තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන අංශයන් ඉතාමත් දියුණු මට්ටමකයි තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් ලංකාව තමයි දකුණු ආසියාතික කලාපයේ මුලින්ම 3G සහ 4G LTE කියන අන්තර්ජාල තාක්ෂනයන් හදුන්වාදුන්නේ. නමුත් අපේ දුම්රිය ස්ථාන සේවකයන්ට තොරතුරු හුවමාරු කරගන්න walkie talkie එකක් නැහැ කියන එක කණගාටුවට කාරණයක්. හදිස්සියෙවත් ඒ වෙලාවේ විදුලි කාර්මික මහත්මයා හවසට තේ එකක් බොන්න එලියට ගිහින් හිටියනම් අර සාමාන්‍ය මිනිස්සු තාමත් කෝච්චිය ඇතුලට වෙලා බලන් ඉන්නවා ඇති.

කෙනෙකුට හිතෙන්න පුළුවන මූ මේ UK ඉදගෙන එහෙයි මෙහෙයි සසදන්න හදනවා කියලා. මගේ උත්තරේ තමයි "ඔව්", මම සසදනවා. නමුත් මම මේ උත්සාහ කරන්නේ ලංකාව UK කරන්න නෙමෙයි. සාමාන්‍ය ජනතාවට වැදගත් කියලා හිතෙන, වැඩි වියදමක් යන්නේ නැති, ලෝකේ අනිත් රටවල් ඉතා තදින් පාවිච්චි කරන විවිධ ක්‍රම ගැන දැනුවත් කරන එක.

යාලුවනේ, දැන් මම ලගදී කෝච්චියේ ගෙදර එද්දී දැක්ක දර්ශනයක් කියන්නම්. ලන්ඩන් ගොඩයා කැමතියි කොච්චි වල ඉස්සරහම පෙට්ටියේ යන්න, මොකද සෙනග අඩු නිසා. සමහර දවස් වල පොඩි නින්දකුත් දාගෙන තමයි යන්නේ ;). මම යන්න ඉන්න කෝච්චියේම ඉස්සරහ පෙට්ටිය target කරගෙන වයසක අන්ධ පුද්ගලයෙකුත් කෝච්චියට නගින්න හිටිය. එයා එක්කම දුම්රිය ස්ථානයේ සේවකයෙකුත් ලගින් හිටිය. මේ වෙලාවේ අර සේවකයා තමුන්ගේ walkie talkie එක අරගෙන වෙනත් කෙනෙකුට පණිවිඩයක් කිව්වා. ලන්ඩන් ගොඩයාට ඇහුනේ කෝච්චියේ ගමනාන්තය, කොච්චි පෙට්ටිය(carriage number) සහ වෙලාව කියනවා විතරයි. ඉතින් ඒ ගමන්ම වගේ කෝච්චියත් අවා.අර සේවකයා අන්ධ පුද්ගලයාව කෝච්චියට නැග්ගුවා. මමත් ඒ පිටිපස්සෙන්ම කෝච්චියට නැගලා අයිනක් අල්ලලා පොඩි ඇලට් එකක් දාගෙන ගියා. ඉතින් ටික වෙලාවකින් කෝච්චියේ ඇතුලේ තියෙන loudspeaker එකෙන් කියනවා ඇහුනා "the next station is Barking, change here for....". ලන්ඩන් ගොඩයා බහින්නේ මේ station එකෙන්. ඉතින් මගේ bag එකත් අරගෙන බහින්න ලෑස්ති උන. ඒ එක්කම ලන්ඩන් ගොඩයා දැක්ක අර අන්ධ පුද්ගලයත් කෝච්චියේ දොර ළඟ බහින්න ඉන්නවා. ඉතින් කෝච්චිය නැවැත්තුව ගමන් අර පුද්ගලයා බැස්සා. බහින කොටම station එකේ හිටපු සේවකයෙක් "good evening sir !!!" කියලා අර මනුස්සයව භාර ගත්තා. ඒ එක්කම එයා තමුන්ගේ walkie talkie එකෙන් තව කෙනෙක්ට confirm කලා passenger ව භාර ගත්තා කියලා. මෙතැනදී තමයි ලන්ඩන් ගොඩයාට තේරුනේ කලින් station එකේ සේවකයා මේ station එකේ සේවකයාට කතා කරලා කියල තියෙන්නේ අන්ධ මගියෙක් පලවෙනි කොච්චි පෙට්ටියේ එයි. එයාව station එකෙන් එලියට ඇරලවන්න කියලා. යාලුවනේ, ඔයගොල්ලෝ හිතන්න එපා මේ මගියා VIP customer කෙනෙක් කියලා. එයා සාමාන්‍ය මගියෙක්. ලන්ඩන් ගොඩයා මේ දැක්ක ජවනිකාව මෙහේ බහුවලව දකින්න ලැබෙන දෙයක්. දුම්රිය ස්ථානයේ වැඩ කරන සේවකයෙක්ගෙන් ඇහුවොත් කියයි ඒ අපේ customer service එක කියලා. මම මේ අවස්ථාව දකින්නේ walkie talkie භාවිතය බොහොම ප්‍රාථමික මට්ටමින්, සාමාන්‍ය ජනතාවගේ සුභ සාධනය උදෙසා පාවිච්චි වෙච්ච් අවස්ථාවක් හැටියට.

ඔයගොල්ලන්ට මතක ඇති 2004 වසරේ ලංකාවට බලපාපු ඒ මහා ඛේධවාචකය, සුනාමි එක. කවුරුත් දන්න එකක් තමයි සුනාමි එක නිසා අලව්වේ සිද්ධ වෙච්ච දුම්රිය අනතුර තමයි ලෝක ඉතිහාසයේ වෙච්ච බිහිසුනුම දුම්රිය අනතුර. එකෙන් අපිට අපේ සහෝදර ජනතාව 1700 කට වඩා අහිමි උනා. මේ දවස් වල ලන්ඩන් ගොඩයා හිටියේ ලංකාවේ. A/L පන්තියේ. ඉතින් පත්තර බලද්දී දැනගත්තා දුම්රිය බලධාරීන් මේ අනතුර වෙන්න කලින් දුම්රිය ස්ථාන දෙකකින්ම කෝච්චිය නවත්තන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් අවාසනාවට ඒ දුම්රිය ඒ වෙනකොටත් අදාල දුම්රිය ස්ථාන පහු කරලා ඉවරයි. ඒ වෙලාවේ සන්නිවේදන තදබදය (communication traffic) වැඩි නිසා දුම්රිය රියදුරු මහත්මයාගේ ජංගම දුරකථනයත් වැඩ කරලා නැහැ. කොහොම හරි කෝච්චිය ඊලග දුම්රිය ස්ථානයට එන්න කලින් station එකට පණිවිඩේ ලැබිල තියෙනවා කෝච්චිය නවත්තගන්න. නමුත් කෝච්චියට ඒ දුම්රිය ස්ථානයට ලගවෙන්න වරම් තිබ්බේ නැහැ. හැමෝම දන්නවා මොකක්ද උනේ කියලා. ලන්ඩන් ගොඩයා හිතනව ඒ දුම්රිය රියදුරු මහත්මයා ලග හරි guard මහත්මයා ලග හරි walkie talkie එකක් තිබ්බ නම් අදටත් ඒ ජනතාව අපිත් එක්ක ඉන්නවා කියලා.

UK වල walkie talkie ජෝඩු දෙකක් ගන්න පුළුවන් ලංකාවේ සල්ලි වලින් රුපියල් 10,000 කට විතර. ලන්ඩන් ගොඩයා ප්‍රාර්ථනා කරනවා ලංකාවේ බළධාරීන් ඔය අලුත් ගුවන් තොටුපොළවල්, වරායවල් හදන සල්ලි වලින් ටිකක් වියදම් කරලා අර අසරණ විදුලි කාර්මික මහත්මයාට walkie talkie එකක් අරන් දෙයි කියල.

No comments:

Post a Comment